ranil-dhammika-decition

 ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීම සදහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) පැවැත්වීමට නියමිතය. ඒ අනුව එම සාකච්ඡාව පස්වරු 4.00ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවටත් ඒ සදහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව ඉදිරිපත් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනවාද නොඑසේනම් එක්ව ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.එමෙන්ම ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිහකට අධික පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී මේ මොහොතේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්විය යුතු බවද ප්‍රකාශ කර තිබේ.

එබැවින් මේ මොහොතේ පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් පක්ෂයද දෙකඩ වනු ඇතැයිද ඔවුහු හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට පෙන්වා දී තිබේ. එහිදී හිටපු ජනාධිපතිරයා පවසා ඇත්තේ මේ මොහොතේදී පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර සිටීමට තමන් වැඩි කැමැත්තක් දක්වන බවයි. සිකුරාදා නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ සමුළුවද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවද වාර්තා වේ.
 නවෝද්‍යා  පවනි