ranil-dhammika-pohottuwa

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුවී ඇති විවිධ පරස්පර විරෝධී මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.මේ දෙදරීම හටගෙන ඇත්තේ එක් පාර්ශ්වයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත්

අනෙක් පාර්ශ්වය වෙනම අපේක්ෂකයකු (බොහෝවිට ධම්මික පෙරේරා) ඉදිරිපත් කළ යුතු බවට අදහස් මතු කිරීමත් හේතුවෙන් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.එසේම රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයන් යෝජනාවක් සම්මත කර ගැනීමද මෙම දෙදරා යෑම උත්සන්නවීමට බලපා ඇතැයි කියති.




එම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නියෝජිතයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ ප්‍රශ්න කර සිටියහ.කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී ඊයේ පැවති සාකච්ඡාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමට ඒ අයට නිදහස ඇති බවයි.කුමන යෝජනාවක් සම්මත කරගත්ත ද පක්ෂය ගන්නා තීන්දු සමග ඔවුන් හිටගන්නා බව තමාට විශ්වාස යැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.




අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් තරයේ කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් තෝරාගත යුතු බවයි.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් අප කළ විමසුමක දී ඔහු පැවසුවේ පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි.මේ සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසුමක දී ඔහු කීවේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත රටේ ජනපති විය යුතු බවයි.කුමන මත තිබුණත් පක්ෂය සුදුසු වෙලාවට සුදුසු තීරණය ගනු ඇතැයි ද ඔහු කීවේය.මෙම කඹ ඇදීම් හේතුවෙන් පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීම තවදුරටත් පමා වෙමින් ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
සුජිත් හේවාජුලිගේ