ranil-pohottuwa

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනකු නම්මා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට තවත් සති දෙකක කාලයක් දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවැසේ.මේ අනුව ආණ්ඩුව ලබන 29 වැනිදාට පෙර එම මන්ත්‍රීවරුන් පිරිස තම පැත්තට නම්මා ගත යුතුව ඇත.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හැක්කේ එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා ගතහොත් පමණක් බව පොහොට්ටුව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 25ක් ගන්නා බවට ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කළේය.ම

ේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අග කරන බවයි.

ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 ත් අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බව ද හෙතෙම සඳහන් කළේය. කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට එකඟ වන ජනාධිපති වරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු මේ මස අවසානයේදී නම් කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.



අපේක්ෂකයකු නම් කිරීමට කිසිදු හදිසියක් නැති බව ද ඔහු පැවසීය. එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට ජාතික සංවිධායක ලෙස තමා බිම් මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බව ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.ආණ්ඩුවට එම මන්ත්‍රීවරුන් පිරිස ලබන 29 වැනිදාට පෙර කැඳවා ගත නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනකුගේ නම් දැනටමත් යෝජනා වී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
 සුජිත් හේවාජුලිගේ