ranil-slpp

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අලුත් සාකච්ඡා වටයක් ආරම්භ වී ඇතැයි වාර්තාවේ.

එම සාකච්ඡාවේ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මේ මස අග ස්ථිරයෙන්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ආර්ථිකයට අදාළ කරුණු කීපයක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති මාලාවට අදාළ කරුණු පිළිබඳව එකඟතාවක් ඇති කර ගැනීමට මෙම සාකච්ඡාවේදී බලාපොරොත්තු වන බවද ප්‍රකාශකයා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ණය ගෙවිය හැකි සහ රට හැදිය හැකි නායකයකු ගැන පක්ෂයේ අවධානය යොමුවී ඇති බවයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටි ආරච්චි මහතා පැවසුවේ පක්ෂයේ මුල් පෙළේ නායකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තීරණාත්මක සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. රටට ගැළපෙන හොඳ නායකයකු තෝරාගන්නා බවත් අනාගත නායකයා බිහි කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් හෙතෙම සඳහන් කළේය.
(සුජිත් හේවාජුලිගේ)