ranil-speaks

ඊයේ (19) ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා පැවසුවේ සර්වජන ඡන්ද බලය හිමිවීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැකගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත්ය.


වසර 5 වෙනුවට 6 දැම්මීට ජයම්පති වික්‍රමරත්න කළ අත්වැරැද්ද ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු කීය.මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

මෙහිදී ඔහු අදහස් දැක්වූයේ මෙසේය,

“ඇතැම් ප්‍රශ්න මතු වූ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බව සමහරු කියනවා. අපේ ව්‍යවස්ථායකය, අධිකරණය සහ දේශපාලන ක්‍රමය කෙසේ හෝ මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලොකුම තර්ජනය එල්ල වුණේ 2022 වසරේ. නමුත් අප එකඟත්වයෙන් ඉදිරියට යනවා. අපට පාර්ලිමේන්තුවේ වාද කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. දැන් ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙනවා. අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ඡන්දය මෙම කලාසීමාවේදී පැවැත්විය යුතුයි කියලා. අපත් ඊට එකඟයි. 2015 වසරේ අප අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා.

මම මෙවැනි කටයුතු සාමාන්‍යයෙන් භාර දෙන්නේ කේ. එන්. චොක්සි නීතිඥතුමාටයි. නමුත් ඒ වනවිට ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්න නීතිඥතුමාට එම කටයුත්ත භාර දුන්නා. එතුමාට එක වාක්‍යයක් ඉවත් කිරීමට නොහැකි වුණා. එපමණයි සිදුව තිබෙන්නේ. මේ කෑ ගහන්නේ ඒකට. එය එතුමාගෙන් සිදු වූ අතපසුවිමක්. එම අතපසුවීම ගැන රටේ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ඒ ගැන තවත් ප්‍රකාශ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳ බය වෙන්න එපා. අපේ රට 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා.”