gammanpila-speaks

උතුරු නැගෙනහිර ඡන්ද ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහට ඇති බාධාව ඉවත් කිරිිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළ දැයි සැකයක් මතුවන බව ජිවිතුරු හෙළ උරුමය නායක හා සර්වජන බලය විධායක සභික පා.ම. නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

රාජපක්ෂ පවුලේ අය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සිටීමෙන් උතුරු නැගෙනහිර ඡන්ද ලබා ගැනීමට හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වීමට බාධාවක් වන බැවින් එම බාධාව ඉවත් කර, ඔහුව තවදුරටත් ශක්තිමත් කිර්ම වෙනුවෙන් මෙම තීරණය ගත්තා විය හැකි යැයිද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.




ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්න හැටනව ලක්ෂයක් ජනතාවගේ අපේකෂාවන් ඉටු කළ හැකි අපේක්ෂකයෙක් මෙතෙක් ජනාධිපතිවරණයට ඉදිර්පත් කර නොමැති බවද ගම්මන්පිල මහතා පැවසුවේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30දා) සර්වජන බලය සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,




“ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දෙන්න කියලා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවූ ලිපිය එම පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරමින් එම පෙරමුණෙන්ද වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා තීරණයක් අරන් තියෙනවා.මේක දුර්වල රනිල් තවදුරටත් දුර්වල කරන්න කරපු දෙයක්ද, එහෙමත් නැත්නම් දුර්වල රනිල්ව ශක්තිමත් කරන්න කරපු දෙයක්ද කියලා සාධාරණ සැකයක් අපිට තියෙනවා.


රාජපක්ෂවරුන් ආණ්ඩුවේ සිටීම තමයි දෙමළ ඊළම වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තියෙන ලොකුම බාධාව.ඒ වගේම කොවිඩ් කාලයේ මුස්ලිම් මෘත දේහයන් පිලිස්සීමට කටයුතු කළ රාජපක්ෂවරු ආණ්ඩුවේ සිටීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දැක්වීමට සමහර මුස්ලිම් පක්ෂවලට තිබුණු බාධාව.

ඒ වගේම සමගි ජන බලවේගයට එකතුවෙලා ඉන්න පිරිස් රනිල් වික්‍රමසිංහ මහත්තයව අතෑරියේ ඔහුට දිනන්න බෑ කියලා මිසක, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති රටට හානි කරයි කියලා නෙවෙයි. මෙලෙස ඉවත් වුණු සජබයේ අයට නැවත රනිල් වික්‍රමසිංහ මහතා ගාවට යන්න තිබුණු බාධාව තමයි රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටීම. ඒ නිසා රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට යම් ප්‍රමාණයක ශක්තියක් ලබාදීම සඳහා මේ ඉවත්වීම සිදු කළාද යන්නත් සැකයක් තියෙනවා.” යනුවෙන් පැවසීය.
 නවෝද්‍යා පවනි