royal-college-prefects-court
කොළඹ රාජකීය විද්‍යාලයේ 2023/ 24 වසර සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලයට ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීමේ දී විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත.එම විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට තේරිමේ දී ලකුණු ලබාදීමේ පටිපාටිය පිළිබඳව ශිෂ්‍යයන් පෙර වසරවල දී මෙන් දැනුවත් නොකිරීම හේතුවෙන් එකී පටිපාටියේ විනිවිදභාවය ගිලිහී ඇති බව පැහැදිලි වන බව ද මානව හිමිකම් සභාව දුන් නිගමනයේ සඳහන් වේ.



කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 9දෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කර ඇති පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව එම කොමිෂන් සභාව එකී නිගමනය ලබාදී ඇත.

තමන් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් බවත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට තෝරාපත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවා තිබූ අතර තමන් ඒ සඳහා විධිමත් පරිදි අයැදුම් කළ නමුත් තෝරාගැනීමේ ක්‍රියාවලියෙදී විවිධ අක්‍රමිකතා සිදු වූ හෙයින් තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පවසමින් එම සිසුන් මානව කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.

එසේම විද්‍යාලය විසින් දෙනු ලැබූ අයදුම් පත්‍රය නිසි පරිදි සකස් කර නැති අතර ලකුණු ලබාදීමේ පටිපාටියට ඇතැම් සුදුසුකම් ඇතුළත්ව නොතිබූ බව ද එම නිගමනයේ සඳහන් වේ.රාජකීය විද්‍යාලය අයදුම්කරුවන්ට ලකුණු දීමේදී නිසි පරිදි සනාථ කිරීමේ ලේඛන පරීක්ෂා කර බලා ලකුණු ලබාදී නොමැති බව තහවුරු වී ඇතැයි ද

මානව හිමිකම් කොමිෂන් සභාවේ එකී නිගමනයේ සඳහන් වෙයි.

එසේම මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ල විභාග වන අවස්ථාවල දී කොළඹ රාජකීය විද්‍යාලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කරමින් කොමිෂන් සභාව වෙත මුලින් ඉදිරිපත් කරන ලද ලේඛන වෙනස්කොට පිළිගත නොහැකි ව්‍යාජ ලේඛන සකස් කර ඉදිරිපත් කළ බව තහවුරු වූ බවද එම නිගමනයේ සඳහන් වේ. එක් පැමිණිලිකාර සිසුවකුට හිමි විය යුතු ලකුණු නිසි පරිදි මුල් අවස්ථාවේදී මෙන්ම අභියාචනයේ දී ද ලබා නොදීම හේතුවෙන් ඔහුට ශිෂ්‍යනායකයකු ලෙස තේරී පත්වීමට තිබූ අවස්ථාව අහිමි වී ඇතැයි ද එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බව තහවුරු වන බව ද එම නිගමනයේ සඳහන් වේ.
රංජන් කස්තුරි