saliya-peris-speaks
අද කොළඹදී විශ‍ේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ  ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රශ්න කිරීමට නොහැකි බවට දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි.

අගමැති කියන ආකාරයට පොලිස්පතිගේ බලය තවම දේශබන්දු සතුව නැති බවත් පොලිස්පතිවරයාට ලබාදී ඇති නියෝගය නොතකා ඔහු පොලිස්පති ධූරයේ වැඩ කළ හොත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරිය හැකි බවද පීරිස් මහතා කීය.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) යන්නෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණය බලයට යටත්වන බව එහි දක්වා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවත්, එනිසා ඉන් ලබාදෙන තීන්දු පාර්ලිමේන්තුවේ කතාවකින් බල රහිත කළ නොහැකි බවත්, ඒ අනුව පොලිස්පතිවරයාට ලබාදී ඇති නියෝගය නොතකා ඔහු පොලිස්පති ධූරයේ වැඩ කළ හොත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරිය හැකි බවද පීරිස් මහතා අවධාරණය කරයි.



එසේම, මේ ආණ්ඩුවම ගෙනා තීතියක් ඇති බවත්, එයට අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම්වලින් දඩුවම් කළ හැකි බවද ඔහු පෙන්වාදෙයි.

මේ රටේ ජනාධිපතිවරු යනු රජවරුන් නොවන බවත්, ජනපතිවරයකුට තමුන් කැමැති අත්තනෝමතික තීන්දු ගැනීමට නොහැකි බවත්, අදාළ තත්ත්වය නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්  ජනාධිපතිවරයාගේ තීරණ, තීන්දු හා ක්‍රියා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණය බලයට යටත්වන බව එහි දක්වා ඇතියි ඔහු පෙන්වා දෙයි.