sewmina-death

අවිස්සාවේල්ල නුගදණ්ඩ නාච්චිමල ඇළෙ හි ගෝනවල නැමැති දිය වළක මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට ගිය 17 හැවිරිදි වොලිබෝල් ශූරයකු වන පාසල් සිසුවකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ කහතුඩුව, පොල්ගඕවිට පාලගම පදිංචිව සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සහ විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමේ පන්දු ඔසවන්නා ලෙස කටයුතු කළ ජේ.ඒ.ඩී. සෙව්මින නමැති සිසුවෙකි.


මියගිය සිසුවා තවත් මිතුරන් දස දෙනෙකු සමගින් කැබ් රථයකින් අදාළ දිය වළෙහි දිය නෑමට ගොස් ඇති අතර ඒ අතුරින් මියගිය සිසුවා සහ තවත් මිතුරකු එක්වරම දිය වළට පැනීමේදී දෙදෙනාම දිය යටට ගොස් නොපෙනී ගොස් ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.පසුව අනෙක් මිතුරන් විසින් තම මිතුරන් දෙදෙනා දියේ ගිලුණු බවට පවසමින් ඒ දෙදෙනා බේරා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා කෑ ගසා ඇති අතර අසල්වාසීන් පැමිණ දියේ ගිලී සිටි එක් අයකු බේරා ගෙන ඇති බවත් අනෙක් සිසුවා දිය යටින් සොයා ගන්නා විටත් මිය ගොස් සිට ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.




සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සිසුවාගේ මවුපියන්ගෙන් විමසීමේ දී තම පුතා මාළුවෙකු රැගෙන එන බවට පවසා නිවසින් පිටත්ව ගිය බවත් ඔහු කුමන ප්‍රදේශයට ගියා ද යන්න නොදැන සිටි බවත් පවසා ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත ව තිබුණි. අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය මගින් පරීක්ෂණ පැවැත්විය.
( කේ. බුද්ධික කුමාරසිරි)