‘ගරුසරු’, ‘Smart Youth’ හා ‘Global Fair’ හෝ එවැනි තේමා භාවිත කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩසටහන් රජයේ මුදල් යොදවා කෙරෙන අනියම් මැතිවරණ ප්‍රචාරක කටයුතු බවට සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකට ඊයේ (22 වැනිදා) ලිඛිතව පැමිණිලි කළේය.



මෙම වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම දේශපාලන මුහුණුවරකින් සිදුවන අතර කිසිදු විනිවිදභාවයක් නොමැති බවත් දේශපාලන පාක්ෂිකත්වය විනා අවම නිර්ණායක හෝ සපුරා නොමැති බොහෝ පිරිස් ප්‍රතිලාභීන් ලෙස තෝරා ගන්නා බවත් සමගි ජන බලවේගයේ මහලේකම්, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්‍ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර සභාපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි.

මහා පරිමාණයෙන් පිරිස් රැස් කරමින් සිදු කරන මෙම වැඩසටහන් සන්දර්ශනාත්මක හා මැතිවරණ ප්‍රචාරණාත්මක අරමුණු මූලික කරගෙන ක්‍රියාත්මක වන බවද එම සියලු වැඩසටහන් සංවිධානය කෙරෙන්නේ රජයේ අරමුදල් යොදවමින් බවද මහ ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.



විදේශ රැකියා ලබාදීම, වෘත්තීය පුහුණු තත්ත්වයන් සහතික කිරීම හා විදේශ රැකියාවක සිට මෙරටට පැමිණි පුද්ගලයන් ව්‍යවසායකත්වයන්ට යොමු කිරීම යන අරමුණු සඳහා යැයි පවසමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන්වල අරමුණු කෙසේ වෙතත් ඒවා ක්‍රියාත්මක වන ආකාරයෙන් බොහෝ අක්‍රමිකතා ඇති වන බවට සෑම ප්‍රදේශයකින්ම පාහේ සිය නියෝජිතයන් මගින් දැනගන්නට ලැබී තිබෙන බව ද ඔහු පවසයි.

අවසන් නොවූ මැතිවරණ කාලසීමාවක හා ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කාලය එළැඹ ඇති වටපිටාවක සංවිධානය වන මෙවන් වැඩසටහන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි අවධානය යොමු කළ යුතු යැයිද මෙම වැඩසටහන්වලදී ආහාරපාන හා මුදල් ලබාදීම් සිදුවන අතර එය ඍජුවම මැතිවරණ අල්ලස් යටතට ගැනෙන වරදක් බවද මද්දුමබණ්ඩාර මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.

මෙම වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් අමාත්‍යාංශයේ මුදල් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘති සඳහා නොයොදවන බවට වගබලා ගන්නා ලෙසත් මහ ලේකම්වරයා සිය ලිපියෙන් ඉල්ලා ඇත.