ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයන් 06දෙනකු මුහුදේ පාවී ආ බෝතලයක තිබූ විස සහිත ද්‍රාවණයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු ගැඹුරු මුහුදේදීම අසාධ්‍ය තත්ත්වයට පත්ව එහි ස්කීපර්වරයා ඇතුළු පස් දෙනකු මිය ගොස් තවත් එක් අයකු අසාධ්‍ය තත්ත්වය පත්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවැසීය.
සිවු දෙනෙක් මිය ගොස් ඇත්තේ ඔවුන් සිටි ධීවර යාත්‍රාව තුළදීය. ඒ වනවිට දිවි ගලවාගෙන සිටි ධීවරයන් දෙදෙනා නාවික හමුදාව විසින් දුන් රේඩියෝ පණිවුඩයක් ඔස්සේ ඒ ආසන්න මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ සිංගප්පූරු නෞකාවකින් බේරාගෙන තිබුණි. ඔවුන් දෙදෙනාට නෞකාවේ සිටි වෛද්‍යවරුන් ප්‍රතිකාර කර ඇතත් අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයකු ඒ වන විටත් එනම් ඊයේ (30) දින මිය ගොස් ඇත.
එම සිදුවීම පෙළගැසෙන්නේ මෙසේය.
තංගල්ල, කුඩාවැල්ල සහ අවට පදිංචිකරුවන් වන 42 හැවිරිදි එම්. ජේ. නයනකාන්ත නමැති ස්කීපර්වරයා ඇතුළු 32 හැවිරිදි එම්. ටී. සුජිත්, 23 හැවිරිදි පී. ඩී. ජයසූරිය, 43 හැවිරිදි ටී. බී. සුජිත් කුමාර, 34 හැවිරිදි ආර්. බී. ජී. ප්‍රදීප් නිශාන්ත සහ 56 හැවිරිදි ජී. එම්. අජිත් කුමාර යන ධීවරයන් 06 දෙනා පසුගිය 28 වැනි දිනÓඩෙවෝන් 05Ó නම් බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේ තංගල්ල ධීවර වරායෙනි.
එලෙස ධීවර කටයුතුවලට ගිය මේ ධීවරයන්ට මුහුදේ පා වී ආ ලීටර් 05ක බෝතලයක් හමුව ඇති අතර, එය විදෙස් මත්පැන් යැයි සිතා මොවුන් එය පානය කර තිබේ. එම බෝතලයේ තිබූ දියරය පානය කර මඳ වේලාවකට පසු ධීවරයන් හය දෙනා අසනීපව අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබේ. පසුව ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් විසින් මේ පිළිබඳව ගොඩබිම පිහිටි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයට දන්වා තිබේ.
ගැඹුරු මුහුදේ ආපදාවට පත්ව ඇති එම ධීවරයන් පිරිස වෙත කඩිනමින් වෛද්‍ය ආධාර දී ගොඩබිමට රැගෙන ඒමට සහාය වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට 29 වැනි දින දහවල් දැනුම් දීමක් සිදු කර තිබුණි.
එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව මුදාගැනීමට සහාය වන ලෙස එම මුහුදු ප්‍රදේශය ඔස්සේ සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ MV KOTA CAMIL නමැති වෙළෙඳ නෞකාවට උපදෙස් දීමට කටයුතු කර ඇත. එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදු කළ Devon 3 නමැති බහුදින ධීවර යාත්‍රාවට ද සිද්ධිය ගැන දැනුම්වත් කර තිබේ.
නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් Devon 5 බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයන් දෙදෙනෙක් MV KOTA CAMIL නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවකින් ඊයේ (30) උදෑසන මුදාගෙන ඇත. පසුව එයින් තවත් ධීවරයකු මිය ගොස් එක් අයකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බව නාවික හමුදාව පවසයි. Devon 5 බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයන් මුදාගැනීමේ මෙහෙයුමට වෛද්‍ය කණ්ඩායමක් සමඟ 29 වැනි දින සන්ධ්‍යාවේ පිටත් වූ ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාව ඊයේ (30) වන විට එම මුහුදු ප්‍රදේශයට ළඟාවී සිංගප්පූරු ෙනෟකාවේ සිටි ධීවරයාව සහ මියගිය ධීවරයාගේ සිරුර භාරගෙන ඇත. අනතුරුව ධීවරයන් ගමන්ගත් යාත්‍රාෙව් තිබූ සෙසු ධීවරයන්ගේ සිරුරුද රැගෙන ෙනෟකාව ඊයේ රාත්‍රීෙය් ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබුණි.
මුල් අවස්ථාවේදී නාවික හමුදා වෛද්‍යවරයෙක් මඟින් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයන්ට වෛද්‍ය උපදෙස් දීම ද සිදු කළ අතර (Tele Medical Assistance Service), Devon 5 බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයන් මුදාගැනීමේ මෙහෙයුමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාව 29 වැනි දින සන්ධ්‍යාවේ ආපදාවට පත් Devon 5 බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් මේ සිදුවීම වාර්තා වීමත් සමඟ මුහුදු ගිය ධීවරයන්ගේ ඥාතීන් විසින් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල බේ හෝටලය අසලින් හරස් කරමින් ඔරුවක් දමා විරෝධතාවක නිරත වනු ලැබීය.
එහිදී විරෝධතාවට එක්ව සිටි පිරිස් පැවැසුවේ මුහුදේ අසාධ්‍යව අතරමංව සිටින ධීවරයන් ගෙන්වා ගැනීමට නිලධාරීන් කල් මරමින් සිටින බවත් හොලිකොප්ටරයක් හෝ යවා ඔවුන් ගොඩ බිමට වහාම ගෙනත් දෙන ලෙසත්ය. කෙසේ වෙතත් ප්‍රධාන මාර්ගය වසා විරෝධතාවේ නිරත වීම හේතුවෙන් තංගල්ල සහ බෙලිඅත්ත පොලිස් ස්ථාන දෙකෙහි නිලධාරීන් එක්ව විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කිරීමේදී දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති විය. කෙසේ වෙතත් මුහුදේ අනතුරට පත්ව සිටින ධීවරයන් කඩිනමින් ගොඩබිමට රැගෙන එන බවට දුන් පොරොන්දුවෙන් පසු විරෝධතාව නවතා දැමුණි.
ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා
"තංගල්ල ධීවර වරායෙන් රැකියාවට ගොස් තිබෙන මේ යාත්‍රාවට පසුගිය 28 වැනිදා රාත්‍රියේ මුහුදේ පා වෙමින් තිබූ යම්කිසි බෝතලයක් හමු වෙලා තියෙනවා. මේ අය එය විදෙස් මත්පැන් යැයි සිතා 29 වැනිදා පෙරවරුවේ පානය කිරීමෙන් පසු ඔවුන් අසාධ්‍යව තියෙනවා. මේ පිළිබඳව ඔවුන් විසින් ගොඩබිමට දැනුම් දී තියෙනවා. ඒ අනුව ඒ යාත්‍රාවට ඇමතීමට යළි උත්සාහ කළත් ඔවුන් නැවත සම්බන්ධ කර ගන්න නොහැකි වෙලා තියෙනවා.
අනතුරුව යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ ඒ යාත්‍රාව තියෙන තැන නිරීක්ෂණය කළා. එහිදී අනාවරණය වුණා, යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 400කටත් වඩා ගැඹුරු දකුණු මුහුදේ තියෙන බවට. ඒ අනුව අප ඒ ආසන්නයේ ධීවර කටයුතුවල නිරත වෙනත් යාත්‍රාවකට මේ පිළිබඳව දැනුම් දී ඔවුන් එම ස්ථානයට යොමු කළා. එම අවස්ථාවේ යොමු කළ යාත්‍රාවේ කාර්ය මණ්ඩලය අපට ඒ යාත්‍රාවේ එක් පුද්ගලයෙක් මිය ගොස් සිටින බවත් අනෙක් ධීවරයන් අසාධ්‍යව සිටින බවත් දැනුම් දුන්නා. ඒ අනුව අප ඔවුන් මුදාගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා."
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා
"මේ වන විට ධීවර යාත්‍රාවේ සිටින ධීවරයන් පස් දෙනකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විටත් අප මේ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරන වෙනත් නෞකාවක් සම්බන්ධ කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍යාධාර දීමටත්, ඔවුන් එම නෞකාවක් මාර්ගයෙන් ගොඩබිමට කඩිනමින් ගෙන්වාගැනීමටත් උත්සාහ දරමින් සිටිනවා. මේ වන විටත් නාවික හමුදාවේ විජයබාහු නෞකාව වෛද්‍ය කණ්ඩායමක් සමඟ එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා. අවශ්‍යතාවක් වුවහොත් අදාළ ධීවරයන් රැගෙන ඒමට ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානාවක් ද සූදානම් කර තිබෙනවා."
0 Comments