tin-number-tax

රජයේ ඉල්ලීම පරිදි “බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය“ (TIN) ලබා ගැනීම සඳහා පමණක් ලියාපදිංචිවූ මිලියනයකට අධික පිරිසකට බදු පනත් උල්ලංඝනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල බදු ලිපිගොනු විවෘත කර ඇතැයිද, ඔවුන්ට වහාම බදු ගෙවන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව දැනුම්දී ඇතැයිද අනාවරණය වේ.



මෙම පිරිස අතර දැනටමත් සිය වැටුපෙන් බදු ගෙවන පිරිස සහ රුපියල් ලක්ෂයකට වඩා අඩු අදායමක් ලබන එහෙත් වෙනත් ආදායමක් නොලබන බහුතරයක් සිටින බවද පැවසේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් “බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය“ (TIN) සඳහා ලියාපදිංචිවූ මිලියනයකට අධික පිරිසකට මෙලෙස බදු ලිපිගොනු විවෘත කරන බවට තොරතුරු අනාවරණය වේ.

බදු ගෙවන්නන් හඳුනා ගැනීම සඳහා පමණක් වයස අවුරුදු 18 ට වැඩි අයට ටින් අංකය නිකුත් කරන බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය කාලයේදී මාධ්‍ය මගින් දැනුම් දුන්නේය. එමෙන්ම, ටින් අංකය ලබා ගන්නා සියලු දෙනාට බදු ගෙවීමට සිදු නොවන බවද එම නිවේදන මගින් සඳහන් කෙරිණි.



කෙසේ වුවද, මේ වනවිට ටින් අංකය ලබාගත් සියලු දෙනාටම අදාළ බදු ගෙවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලිපි සහ කෙටි පණිවුඩයක්ද යවා ඇත.

2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතේ 94 වගන්තිය අනුව ආදායම් බදු වාර්තා ඉදිරිපත් නොකළ යුතු පුද්ගලයන් කාණ්ඩ කර තිබේ. ඒ අනුව, යම් සේවා ආදායමක් උපයන අයෙක් එම ආදායමට අදාළ බද්ද ඔහුගේ වැටුපෙන්ම අය කරන්නේ නම් හෝ ඔහුට වෙනත් ආදායමක් නැතිනම් ආදායම් බදු වාර්තාවක් ලබාදීම අවශ්‍ය නොවන බව බදු පනතේ සඳහන්කර තිබේ. එමෙන්ම, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් විසින් 2023 වසරේ මාර්තු මස 29 වැනිදා නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාවේ 11 වැනි වගන්තියේද මේ බව සඳහන් කර තිබේ.



නීතිමය තත්ත්වය එය වූවත්, ටින් අංකය ලබාගත් සේවා ආදායම පමණක් තිබෙන, ඊට අදාළව බදු ගෙවන මෙන්ම වෙනත් ආදායමක් නොමැති මෙම පිරිසට බදු ලිපිගොනු විවෘත කිරීම ගැටලුවට තුඩුදෙන කාරණයකි.

ටින් අංකය ලබා ගැනීම සඳහා පමණක් ලියාපදිංචිවූ පිරිසට බදු ගෙවන ලෙස දැනුම්දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්, පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද දේශීය ආදායම් බදු පනතේ කරුණු පවා උල්ලංඝනය කරමින් මෙලෙස බදු අයකෙරෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.