තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ අතහැර දැමූ ගල්වලක දිය නෑමට ගොස් ගිලි අතුරුදන් වූ දැරියන් දෙදෙනාගේ මෘත ශරීර සොයා ගත් බව පොලිසිය පවසයි.


පොලිසිය සඳහන් කළේ, මෙම දරුවන්ගේ මව ද ගල්වලේ ගිලි මිය ගොස් ඇති අතර ඇයගේ මෘත ශරීරය ඊයේ (ජූලි 21) රාත්‍රී 8:00 පමණ ප්‍රදේශවාසීන් සොයා ගත් බව ය.


දරුවන් දෙදෙනාගේ මෘත ශරීර අද (ජූලි 22) තිස්සමහාරාම පොලිසියේ කිමිදුම් කණ්ඩායමක විසින් සොයා ගනු ලැබ තිබේ.
මිය ගොස් ඇත්තේ, අවුරුදු 32 ක්වූ මවක් සහ අවුරුදු 14ක් සහ 7ක් වූ ගැහැණු දරුවන් දෙදෙනෙකි.
පොලිසිය සඳහන් කළේ, මොවුන් ඊයේ සවස 5:00ට පමණ දිය නෑමට ගල්වල දෙසට ගොස් ඇති බව ය.
ඔවුන්ගේ පියා කුලී වැඩට ගොස් නිවසට පැමිණ ඔහු ද ගල්වලට දිය නෑමට ගොස් ඇත.
එම අවස්ථාවේදී දරුවන්ගේ පාවහන් සහ රෙදි ගල්වල ආසන්නයේ තිබී ඇති අතර ඔවුන්ට කරදරයක් සිදු වී ඇතැයි සිතා ඔහු විසින් ප්‍රදේශවාසීන්ට මේ පිළිබදව පවසනු ලැබ තිබේ.


පසුව ප්‍රදේශවාසීන් සමග දියේ අතුරුදන් වූ මව සහ දියණියන් දෙදෙනා සෙවීමට කටයුතු කර තිබිණි.
මිය ගිය මව සහ දරුවන් දෙදෙනාගේ මෘත ශරීර දෙබරවැව මූලික රෝහලේ තැන්පත් කර ඇත.
මේ පිළිබඳව තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු – තිස්සමහාරාමය