තිස්සමහාරාම කොඩිගහවැව ආසන්නයේ අතහැර දැමූ ගල්වළක දිය නෑමට ගිය මවක සහ දියණියන් දෙදෙනෙකු ගල්වළට වැටී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මිය ගිය මවගේ දෙවැනි විවාහයේ සැමියාගෙන් තිස්සමහාරාම පොලිසිය ප්‍රශ්න කර තිබේ.
මේ තිදෙනා දියනෑමට ගල්වළට ගිය අවස්ථාවේදී එහි වැටී මියගොස් තිබියදී මවගේ දේහය 21වැනිදා රාත්‍රී 8.00ට පමණ ප්‍රදේශවාසීන් විසින් සොයාගත් අතර දරුවන් දෙදෙනාගේ මෘත දේහ ඊයේ (22) උදෑසන තිස්සමහාරාම පොලිසියේ කිමිදුම් කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලදි.
නව හැවිරිදි දෙව්මි දෙහන්ෂා සහ දහතුන් හැවිරිදි නෙත්මි නිමන්ෂා පදිංචි වී සිටියේ තිස්සමහාරාම, සාමගුලිය සී 3 මාර්ගයේ පිහිටි අඩක් නිමකළ කුඩා නිවෙසකය. ඒ පුංචි පැල්පතේ ජීවත් වුණේ දැරියන් දෙදෙනාත් ඔවුන්ගේ මව වන ඩබ්ලිව්.ජී. මනෝරි සුරංගිකා (32) සහ සුළු පියා ය.
දැරියන්ගේ පියා ඔවුන් කුඩා කාලයේදීම සිය පවුල අතහැර ගොසිනි.
මේ දිනවල කොඩිගහවැව ප්‍රදේශයට ප්‍රමාණවත් පරිදි නළ ජලය නොලැබීම හේතුවෙන් ජලය එක් රැස්වී ඇති ස්ථානවලට ගොස් රෙදි සෝදා දිය නෑමට ප්‍රදේශවාසීන් පුරුදු වී ඇති බවත් එම ගල්වළටද රෙදි සෝදා ගැනීමට සහ නෑමට විවිධ පුද්ගලයන් පැමිණෙන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
එමෙන්ම මේ දරුවන් දෙදෙනා සහ මව පෙරේදා (21) සවස 5.00ට පමණ රෙදි සේදීම සහ දිය නෑමට ගල්වළ දෙසට ගිය බව ප්‍රදේශවාසීන් දැක ඇත.
සැමියා කුලී වැඩට ගොස් නිවසට පැමිණ ඔහු ද ගල්වළට දිය නෑමට ගොස් සෝදිසි කරන විට රෙදි සහ දරුවන්ගේ පාවහන් ගල්වළ ආසන්නයේ තිබූ බවත් ඔවුන්ට කරදරයක් වී ඇති බවත් යාබද නිවසේ අයට පවසා ඇත.
පසුව ගම්වාසීන් එකතු වී අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මවගේ මළසිරුර එදින රාත්‍රි හමු වූ බව තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය.
දෙව්මි සහ නෙත්මි ඉගෙනුම ලැබුවේ තිස්සමහාරාම කාවන්තිස්සපුර මහා විද්‍යාලයේ ය. කෙතරම් අඟහිඟකම් මැද්දේ ඉගෙනුම ලැබුවද දියණියන් දෙදෙනාම ඉගෙනුමට හපනියන්ය. ව
ැඩිමහලු දියණිය 2021 වසරේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 157ක් ලබාගෙන ඉහළින්ම සමත් වූවාය. දියණියන්ගේ මරණ ගැන කන වැකුණු කාවන්තිස්සපුර මහා විද්‍යාලයේ විදුහල්පති හර්ෂ කට්ටගේ පවසන්නේ වටිනා දක්ෂ දැරියන් දෙදෙනකු අකාලයේ මිලින වූ බවයි. තවත් වසර කිහිපයකින් නෙත්මි අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වී කාවන්තිස්සපුර මහා විද්‍යාලයට ආඩම්බරයක් ගෙන දේවි යැයි පාසලේ ගුරු මණ්ඩලය මඟ බලාගෙන සිටියේය. දෙව්මි කුඩා දියණිය ද ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් කාවන්තිස්සපුර මහා විද්‍යාලය බබලවාවි යැයි ගුරුවරු සිහින මැව්වෝය. ඒත් අද ඒ සියලු බලාපොරොත්තු වැනසී ගොසිනි.
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කරගෙන යන ගල්වළ ගැන 2018 වසරේ මාධ්‍ය මඟින් කරනු ලැබූ අනාවරණයකින් පසු මේ ගල්වළ වසා දමා ඇති අතර එහෙත් අඩි විස්සකට වැඩිය ගැඹුරට හාරා තිබූ ගල්වළ ගොඩකිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නැත.
එම ගල්වළ වසා දැමීමට කටයුතු කළේ නම් මෙවැනි අනතුරක් සිදු නොවන බව ප්‍රදේශවාසීහු කියති. මියගිය දරුවන් දෙදෙනා කාවන්තිස්සපුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ලොකු දියණිය නෙත්මි නිමංසා පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත් වූ දරුවෙක් බවත් හතර වසරේ ඉගෙනුම ලබන දෙව්මි දෙහංසා දැරිය ද පන්තියේ සිටින දක්ෂතම ළමයා බව විදුහල්පති හර්ෂ කට්ටගේ සඳහන් කළේය.
තිස්සමහාරාමය සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත, තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි. කුඩාගොඩ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
0 Comments