uddika-investigation

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහානාම මහතා ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට ඊයේ (16) නියම කළාය.


අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී (1) සංජීව මහානාම මහතා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහු අපේක්ෂිත ඇප මත මුදාහැරීමට නියම කරන්නැයි ඉල්ලමින් නීතිඥ උපාලි ජයමාන්න මහතා

ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා වෙනුවෙන් අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය ඉදිරිපත් කළ නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණු දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පැවසීය.




එහෙයින් තම සේවාදායකයා වෙනුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂිත ඇප ඇයදුම් පත්‍රය සලකා බලන්නැයි ඉල්ලා සිටි නීතිඥ උපාලි ජයමන්න මහතා අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට දිනයක් දෙන්නැයි ඉල්ලීමක්ද කළේය.ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියම කළාය. මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයට අදාළ පෙත්සම ලබන 22 වැනිදා කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.
 උපාලි ආනන්ද