vanidu-helmet-story

 එල්පීඑල් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා විස්සයි20 සහ කැන්ඩි ෆැල්කන්ස් නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) දඩයක් නියම කිරීමට එල්පීඑල් තරග කමිටුව තීරණය කරයි. මේ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමට නියෝග කොට තිබේ.



එල්පීඑල් තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත වෙනම ඇඳුම් ආයිත්තම් ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනත් ලාංඡනයක් ඇති ‘හෙල්මට්’ එකක් පැලඳ පිටියට පැමිණ ඇති අතර, එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස දැනුම් දුන්නේය.

එම විනිසුරු තීරණයට අවනත නොවී වනිඳු හිතුවක්කාරී ලෙස හැසිරීම මේ දඬුවමට හේතුවී තිබේ. කැන්ඩි ෆැල්කන්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් තරගයෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු කළ පැමිණිල්ලට අනුව තරග තීරක ග්‍රේම් ලැබ්රෝයි මහතා විසින් වනිඳුට එරෙහි දඬුවම කැන්ඩි කණ්ඩායමට නිල වශයෙන් දැනුම්දී ඇත.

මේ සිද්ධියත් සමඟ එල්පීඑල් තරගාවලියේ සියලු ක්‍රීඩකයන් වෙත තරග කමිටුව දැනුම්දී ඇත්තේ කිසිදු අයුරකින් තමන්ට අයත් නොවන ඇඳුම් ආයිත්තම් භාවිත කිරීම් සිදු නොකරන ලෙසය. එමෙන්ම තරග අවසානයේ පැවැත්වෙන තෑගි ප්‍රදානෝත්සවයට නිසි පරිදි සම්පූර්ණ ක්‍රීඩක ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු බව ද අවධාරණය කොට ඇත. වනිඳු හසරංග තරග අවසානයේ පැවති තෑගි ප්‍රදානෝත්සවයකට ‘සෙරෙප්පු දෙකක්’ දමාගෙන පැමිණීම ද තරග කමිටුවේ අවධානයට යොමුව ඇත.
පසුගිය දිනවල 'මල්ලි මොනවද කරන්නෙ - මොලේ කල්පණා කරන්න' ලෙස වනිඳුගේ කෝපාන්විත ප්‍රකාශයක් ගැනද සමාජ මධ්‍ය තුළ විවේචන පැනනැගුණි.