vat-licence-temp-closed

භාණ්ඩ ආනයනය සඳහා ආනයනකරුවන් වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබූ තාවකාලික වැට් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය අහෝසි කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ඇතැම් ආනයනකරුවන් විසින් මෙතෙක් වසරක් තුළ සමාගම් රෙජිස්ටාර් කාර්යාලය හරහා නව සමාගම් 8000ක් පමණ ආරම්භ කොට තාවකාලික වැට් බලපත්‍ර ක්‍රමය උපයෝගි කරගෙන අවස්ථා කිහිපයකදී භාණ්ඩ ආනයනය කර එම සමාගම් වසා දැමීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු.බිලියන 300ක පමණ බදු ආදායමක් අහිමිවී ඇත.



ඇතැම් ආනයනකරුවන්ගේ මෙම වංචනික ක්‍රියාව පිළිබඳව අවධානය යොමුකළ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තාවකාලික වැට් බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් රු.බිලියන 300කට අධික බදු ආදායමක් රජයට උපයා දීමේ හැකියාව ලැබේ.මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික ආර්ථික හා භොතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා මෙසේ පැවසීය. ”ජනතාව මත පැටවුණු උපයන විට ගෙවීමේ බද්ද (පේයි ටැක්ස්) මගින් අපේක්ෂිත ආදායම රු.බිලියන 150යි.



නමුත් තාවකාලික සමාගම් අරඹා ආනයන සිදු කිරීම නිසා රටට අහිමිවන ආදායම රු. බිලියන 300කට අධිකයි. ඒ අනුව පැහැදිලියි ජනාවගෙන් බදු අයකරනවා වෙනුවට මෙම සමාගම් නියාමනය කර අදාළ බදු අයකරගත්තා නම් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බව.නිලධාරීන්ගේ දූෂණ වංචා නිසයි අහිංසක ජනතාව මත බදුපැටවීමට සිදුව තිබෙන්නේ. නිලධාරීන් නිසි ලෙස කටයුතු කරන්නේ නම් ජනතාව මත බදු පැටවීමකින් තොරව රයට මුදල් උපයා ගත හැකි බව මින් පැහැදිලි වෙනවා.”
නිරෝෂන් ප්‍රේමරන්න