ward-place-death-man

කොළඹ වෝඩ් පෙදෙසේ ජාතික දන්තායතනය ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් අද (23) උදෑසන හමුවූ අතර මේ ගැන ‍සිදුකළ පොලිස් පරීක්ෂණ අනුව ඝාතනය සම්බන්ධ වැඩිවිස්තර අනාවරණය කරගෙන තිබේ.
අද අලුයම 1ට පමණ මෙම ඝාතනය සිදුව තිබූ අතර පොලීසිය පැවසුවේ තවත් ත්‍රිරෝද රථ හා යතුරු පැදිවලින් ආ තිදෙනෙකු එතැනට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මොහු ඝාතන කර ඇති බවයි. තියුණු පිහිවලින් වලින් පහරදී කපා කොටා ඝාතනය සිදුකර තිබූ අතර ඔහුගේ සිරුර ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ බිම දමා ඝාතකයින් පලාගොස් තිබේ.


ඝාතනයට අදාළ සීසීටීවී සාක්ෂි මේවනවිට පොලිසිය අධ්‍යයනය කරමින් පවතී.
ලැබී ඇති සාක්ෂි අනුව බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඝාතනය සිදුව ඇතැයි මූලික විමර්ශනවල දි තහවුරුවී තිබේ. මෙම පුද්ගලයා සමග ත්‍රීරෝද රථ රියදුරන් සමග පැවති මතභේදයක් ගැනද සාක්ෂි ලැබී ඇති අතර ඒ ගැන පරීක්ෂණ සිදුවේ.
මියගිය පුද්ගලයාගේ ලිපි ලේඛණ ත්‍රීරෝද රථයේම තිබුණ අතර ඒවාට අනුව මියගොස් ඇත්තේ 33 හැවිරිදි කරවින්න, ගොඩකවෙළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ත්‍රිරෝද රථය ඔහු පදවා ඇත්තේ කුලි පදනම මත ලබාගෙන බවද හෙළිව තිබේ. මියගිය අය මෙම රැකියාව සිදුකර ඇත්තේ වෙනත් රැකියාවක් කරන අතරතුර බවද වාර්තා විය.
පොලීසිය පැවසුවේ එම ත්‍රිරෝද රථය ලියාපදිංචි කර තිබුනේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ට බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කුරුඳුවත්ත පොලිසිය මගින් සිදුකරනු ලැබේ.
අලුයම 1.30 ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 හදිසි ඇමතුම් අංකයට ලද පණිවුඩයක් මත ත්‍රීරෝද රථය තුළ තිබූ සිරුර සොයා ගෙන තිබුණි. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත. තවම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත.කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.