ward-place-death-man

කොළඹ වෝඩ් පෙදෙසේදී ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.



මෙම සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් සමඟි මාවත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35 සහ 48 වයස්වල පසුවන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙයි.



කොළඹ වෝඩ් පෙදෙසේ ජාතික දන්තායතනය ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් පසුගියදා (23) උදෑසන හමුවූ අතර අලුයම 1ට පමණ මෙම ඝාතනය සිදුව තිබූ බව හඳුනාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ තවත් ත්‍රිරෝද රථ හා යතුරු පැදිවලින් ආ තිදෙනෙකු එතැනට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මොහු ඝාතන කර තිබූබවයි. තියුණු පිහිවලින් වලින් පහරදී කපා කොටා ඝාතනය සිදුකර තිබූ අතර ඔහුගේ සිරුර ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ බිම දමා ඝාතකයින් පලාගොස් තිබිණි.


ඝාතනයට අදාළ සීසීටීවී සාක්ෂි අධ්‍යයනය කර සැකකරුවන් සොයාගන්නට පොලිසියට හැකිවිය.
ලැබී ඇති සාක්ෂි අනුව බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඝාතනය සිදුව ඇතැයි මූලික විමර්ශනවල දි තහවුරුවී තිබේ. මෙම පුද්ගලයා සමග ත්‍රීරෝද රථ රියදුරන් සමග පැවති මතභේදයක් ගැනද සාක්ෂි ලැබී ඇති අතර ඒ ගැන පරීක්ෂණ සිදුවේ.



මෙහිදී ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙයි.
මියගිය පුද්ගලයාගේ ලිපි ලේඛණ ත්‍රීරෝද රථයේම තිබුණ අතර ඒවාට අනුව මියගොස් ඇත්තේ 33 හැවිරිදි කරවින්න, ගොඩකවෙළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ත්‍රිරෝද රථය ඔහු පදවා ඇත්තේ කුලි පදනම මත ඥාතියෙකුගෙන් ලබාගෙන බවද හෙළිව තිබේ. මියගිය අය මෙම රැකියාව සිදුකර ඇත්තේ වෙනත් රැකියාවක් කරන අතරතුර බවද වාර්තා විය.
පොලීසිය පැවසුවේ එම ත්‍රිරෝද රථය ලියාපදිංචි කර තිබුනේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ට බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කුරුඳුවත්ත පොලිසිය මගින් සිදුකරනු ලැබිණි.