wasantha-funeral-jayaratne

පසුගිය 08 වැනි දා අතුරුගිරියේදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (13) දින සිදු කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඔහු පදිංචිව සිටි වෝඩ් පෙදෙසේ නිවස වෙනුවට සම්පූර්ණ අවසන් කටයුතු බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් මල් ශාලාවේ සිදුකිරීමට තීරණය කර තිබුණි.


දේහය ජුලි 12 එනම් හෙටඋදේ 8.30 සිට රාත්‍රී 10 තෙක් ද, ජූලි 13 සෙනසුරාදා උදේ 8.30 සිට පස්වරු 3 දක්වා ද කොළඹ 08 බෞද්ධාලෝක මාවත ‘ද රෙස්පෙක්ට් හෝම්’ හි පිහිටි ජයරත්න ප්‍රභූ ගෞරව අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර සෙනසුරාදා සවස 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කරන බව දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් මෙලෙස කටයුතු සූදානම් කර තිබියදී බොරැල්ල ජයරත්න මල් ශාලා හිමිකරුට ඊයේ (10) රාත්‍රියේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික "කංජිපානි ඉම්රාන්" යයි තමා හඳුන්වාගත් අයකු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබා දී තිබෙන අතර මේ ‍වැඩේට සම්බන්ධ නොවන ලෙස තර්ජනය කර ඇතැයි වාර්තාවේ.


මල් ශාලාවේ පාලනාධිකාරිය විසින් බොරැල්ල පොලීසිය වෙත මේ ගැන පැමිණිල්ලක් කර තිබෙන බවද වාර්තා විය.අනතුරුව පොලිසිය පෞද්ගලික මල් ශාලාව අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බවද වාර්තාවේ.
"ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ මල් ශාලාවේ තැන්පත් නොකරන ලෙස" දන්වා ඇමතුම ආවේ විදේශ අංකයකින් බවත් තමා කංජිපානි ලෙස කියමින්  ඇමතුම් දුන් පුද්ගලයා කංජිපානිද වෙනත් අයෙකුද යන්න හඳුනාගත නොහැකි බවත් ජයරත්න මල් ශාලාව දන්වා තිබේ.
කෙසේ වෙතත් පොලිස් ආරක්ෂාව සහිතව පෙර යොදාගත් ආකාරයට අවසන් කටයුතු සිදුකරන බවද වාර්තාවේ.