wessagiriya-attached-to-isurumuniya

අනුරාධපුර පූජා නගරයේ පිහිටි ‘වෙස්සගිරිය‘ වර්තමාන ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් මහතා පැවසීය.පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසූයේ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දාහතරදා වෙස්සගිරිය “උරුම උද්‍යානයක්” ලෙස එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සහ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදීය.

වෙස්සගිරිය පුදබිමේ ඉදිරි සංරක්ෂණ සිදු කරන අතර තොරතුරු මධ්‍යස්ථානයක් මෙන්ම සංචාරක කර්මාන්තයට ඉවහල් වන පරිදි අලංකාර ලෙස මෙම ස්ථානය සකස් කිරීමටද නියමිතය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා මෙසේද පැවසීය. වෛශ්‍ය කුලයේ භික්ෂූන් පන්සියක් මෙහි වැඩ සිටි බවට මූලාශ්‍ර මගින් හෙළි වී තිබෙනවා.




2006 වසරේ ජේතවන ව්‍යාපෘතිය මගින් මෙහි සිදු කළ කැණීම්වලදී මධ්‍ය ශිලා යුගයේ බලන්ගොඩ මානවකයාගේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු රැසක් ලැබී තිබෙනවා. ඒ අතර මෙහි ජනාවාස තිබූ බවටද සාක්ෂි තිබෙනවා. එයට හේතුව කදම්බ නදිය හෙවත් මල්වතු ඔය පිහිටා තිබීම අපට සිතා ගත හැකියි. ක්‍රිස්තු පූර්ව තුන්දහස් නවසීයක පමණ ඈත අතීතයට එය රැගෙන යනවා. ක්‍රි.පූර්ව තුන්වැනි සියවසේ කටාරම් සහිත නිර්මාණ මෙන්ම ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස මෙහි ඉදිකර ඇති පබ්බතාරාමය සීගිරි කාශ්‍යප යුගයේදී වූ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.


වෙස්සගිරිය ඉසුරුමුණියේම කොටසක් බවට කරන ලද කැණීම්වලදී ශිලා ලේඛන මගින් පෙන්වා දී ඇති අතර,

එය පිළිගැනීමට අවශ්‍ය සාධක නෂ්ටාවශේෂ සාක්ෂි දරනවා. බෝධි රන්මසු උයන, රුවන්දොර ඒ අතර වෙනවා.අනුරාධපුර පූජා නගරයේ ඇතුළු නුවර තවදුරටත් සංරක්ෂණය විය යුතුයි. ඉදිරියේදී කිසිදු ඉදිකිරීමක් සඳහා ඇතුළු නුවරට අවසර දෙන්නේ නෑ. ඇතුළු නුවර අඩි හතළිහක් යටින් ජනාවාස තිබූ බවට කැණීම්වලදී මතු කර ගන්නට හැකි වී තිබෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යය විදුර වික්‍රමනායක මහතා,

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පසුගිය ජූලි හත්වෙනිදාට වසර 127ක් සපිරෙනවා. නමුත් පුරාවිද්‍යාව හා ජනතාවගේ තිබෙන සම්බන්ධය ඉතා අඩුයි. ඒ නිසාම මේ ගමන පුරාවිද්‍යාවට පමණක් තනියෙන් ගමන් කළ නොහැකි බව අපි අවබෝධ කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදලත්, ජනතාවත් සහ සම්බන්ධ කර ගනිමින් ඉදිරි කටයුතු කිරීමට පියවර ගන්නවා. ඒ අනුව මේ වසරේ අපි පුරාවිද්‍යා දෙසතියක් නම්කර එය ප්‍රායෝගික කිරීමට කටයුතු කළා. ඒ අනුව මේ රට තිබූ සත්ත්ව විශේෂ, ශාක විශේෂ, නටබුන්, නෂ්ටාවශේෂ ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි.”
බී.ජී. චතුරංග