අද (10)  වන විට වාර්තාවන ජනපතිවරණ 2024ට අදාළ උණුසුම් පුවත් එකතුවක් පහතින් පළවේ.
  •  නාමල් සාගර එක්ක සුමන්දිරන් නිවසට ගිහින්


දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පවත්වා තිබෙයි.

සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවසට නාමල් රාජපක්ෂ හා සාගර පැමිණ මෙම සාකච්චාව පවත්වා ඇති අතර එහිදී පළවූ අදහස් ගැන වාර්තා නොවේ.


  • විජිත් විජයමුණි - වඩිවේල් සුරේෂ්- විමලවීර - රනිල්ට

සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව බිබිල නගරයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.
එමෙන්ම හැටන් ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවය.
ජාති භේදයකින් තොරව වතුකරයේ ජනතාව ඇතුළු රටේ ජනතාවට විශාල සේවයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට වතුකරයේ ජනතාවගේ සහාය ලබාදෙන බව මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රිවරයා කියා සිටියේය.
 පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයින් සමග අම්පාරේ පැවති සාකච්ඡාවකදී
 රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා දැකීම තම පුද්ගලික සතුට බව පවසා ඇත.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ "හරි හරි වැරදි හරි මේ අභියෝගාත්මක මොහොතේ මේ රට පවතගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික හා දර්ශනය මත. එතකොට මේ කොච්චිය දුවන්නේ ඒ පීල්ලේ. මේ පීල්ල මාරු කළොත් කෝච්චය පෙරළෙනවා. ඒක සජිත් ඇවිල්ල මාරුකරත් එහෙමයි. අනුර ඇවිල්ල මාරු කරත් එහෙමයි."




  • පොහොට්ටුවේ රනිල් පිලෙන් වෙනම පක්ෂයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර ඕක්රේ රිජන්සි හෝටලයෙහි පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ හමුවකදී මේ ගැන පවසා ඇත. ඔවුන්ට එජාපයට එක්නොවී ඉදිරි මහමැතිවරණයකදී තරග කිරීමට මෙවැනි පක්ෂයක් වැදගත්වන බව පෙන්වාදී ඇත.

මං  ඔබලාගේ දේශපාලන අනාගතය  රකිනවා රනිල් කියයි
හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවට එක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් ඇතුළු සියලුදෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව පැවසීය.හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවට මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පොහොට්ටු පිලේ පිරිසක්ද එක්ව තිබුනි.


  • මාලිමාවෙ ප්‍රතිපත්තිය 26 දා

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිත බව නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන වේදිකාවේදී අනාවරණය කළේය. ඔහු පවසන්නේ විවිධ දේශපාලන කටකතා මගින් තමන් පැමි‍ණි පසු කරන්නට යන දේවල් ගැන වැරදි තොරතුරු පතුරා ඇති බැවින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඒ සියලු බොරු යටපත් කරනු ඇති බවයි.
එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවල ඒ තුළින් එළිදැක්වීමට නියමිතය.


  • සජබ ප්‍රතිපත්තිය කෙටුම්පත් කෙරේ

ජනාධිපතිවරණයට සමගාමීව සමගි ජන බලවේගය සකස්කරන ප්‍රතිපත්ති ප්‍රකාශන කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත  ඉකුත් බදාදා ලබාදී ඇති බවත් විද්වත් සභාවක් සකස්කරන ලදැයි කියන මෙම කෙටුම්පත  ගැන සාකච්චා කර අවසන් පරිච්චේද සකසා අවසන් තීන්දුවට අනුමැතිය ලබාදී නාමයෝජනා ලබාදීමෙන් පසුව ජනගත කිරීමට නියමිත බව වාර්තාවේ. තවම ඊට දිනයක් වෙන්කර නැත.

  • කුඩය 14 වනදා නුගේගොඩින් වැඩ අරඹයි

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් කුඩය ලකුණින් තරග කරන ජන අරගල සන්ධානය දිස්ත්‍රික් මට්ටමින් ප්‍රධාන ජනරැලි 25ක් සහ ජන හමු පන්සීයක් සංවිධානය කර ඇත.එහි පළමු ජනරැලිය මේ මස 14 වැනිදා ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ දී පැවැත්වෙනු ඇත.වසන්ත මුදලිගේ මහතා ඇතුළු එම සන්ධානයේ විධායක සභිකයින් ද එම ප්‍රධාන ජනරැලි අමතන බව ජන අරගල සන්ධානය පවසයි.එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ප්‍රධාන ජනරැලි විසි පහටම සහභාගි වීමට නියමිතය.


  • මාලිමාව හෝ ටෙලි‍‍පෝනය කවුරු ආවත් අපට එකයි - GMOA


ලබන සැප්තැම්බර් 22වන දින මෙරටට පත්වෙන ජනාධිපතිවරයා කවුරුන් වුවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ට ප්‍රශ්නයක් නොමැති බවත් තම සංගමයට අවශ්‍ය වන්නේ ඔවුන් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති මාලාව පමණක් බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි. පසුගිය සති කීපය තුළ තම සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක දෙන්නාවම තම කන්ඩායම හමුවූ බව කීය.


  • රනිල් තමයි -  රාමඤ්ඤ මහානිකායේ හිමි කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සියලු දෙනා සහය පළ කළ යුතු බව රාමඤ්ඤ මහානිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කරකොලේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, පැපිලියාන සුනේත්‍රාදේවී රජමහා විහාරස්ථානයේ ඊයේ (09) පැවැති නව භික්ෂු එකමුතු කතිකාවට එක්වෙමිනි.
ජනාධිපතිවරයා සිය නාමය ලෝකයේම රැඳවූ සහ සමස්ත ආසියාවම පාලනය කළ හැකි ශක්තිය, බුද්ධිය, පරිණතභාවයක් ඇති උත්තම ගණයේ දේශපාලනඥයෙක් බව පියදස්සි නායක ස්වාමීන් වහන්සේ කියා සිටියහ.


  • අපේක්ෂකයින් දැන් 27 යි - එක් අයෙකුට රුපියල් මිලියන 200ක අතිරේක වැයක්


ජනාධිපතිවරණය සඳහා වැඩිවන සෑම අපේක්‍ෂකයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. මෙහිදී මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ කිසියම් වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර ඊයේ (09) දිනයේ තවත් අපේක්ෂකයින් තිදෙනෙක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇතිබුණි.
ඒ අනුව මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 13ක්, පිළිනොගත් පක්ෂයක් සහ  ස්වාධීන අපේක්ෂකයින් 13ක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එකතුව අපේක්ෂකයින් 27 කි.


  • ෆොන්සේකා රනිල්ට අහුවුනා - චමින්ද විජේසිරි

හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මාධය අමතමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා හොරු අල්ලන වැඩේ ෆොන්සේකා මහතාට බාර දීමට තීරණය කළ නමුත් මේ වනවිට ෆොන්සේකා මහතා හොරුත් සමග කටයුතු කරන බවයි. ෆොන්සේකා ගැන දුකයි!
සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රසිංහ මහතාගේ උගුලට හසුවුණා.
සජිත්ව කඩවන්න හිතාගෙන එතුමා රනිල්ගේ ගුණ්ඩුවට අහුවුණා! අපි හොරු අල්ලන වැඩේ ෆොන්සේකාට බාර දෙන්නයි හිටියේ! අන්තිමේ එතුමා හොරුත් එක්කම අසූචි ගොඩට වැටුණා! ජනාධිපති උණ හැදුණට රටේ ජනතාවයි ජනාධිපති තීරණය කරන්නේ!


  • ඡන්ද මධ්‍යස්ථාන දීමනා මදියි-  ග්‍රාමනිලධාරීහු කියති


ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී තිබේ. සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඔවුන් පවසා ඇත.




  • මහජන පක්ෂෙ රනිල්ට


ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතට බව එම පක්ෂයේ නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න දන්වා ඇත.


  • මැතිවරණෙදි සමාජ මාධ්‍ය ගැන අවධානය

ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ඉදිරි කාලසීමාවේදී සමාජ මාධ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල මහත්මිය පවසන්නේ මේ වනවිට සමාජ මාධ්‍ය සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.


  • මැතිවරණ වෙබ් අඩවියට සමාන හොර එකක්


මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණගල ප්‍රකාශ කළේය.


  • මැතිවරණ පැමිණිලි 269


ගත වූ පැය 24ක කාලය තුළ ජනාධිපතිවරණය සම්බන්ධව පැමිණිලි 112ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ ජූලි මස 31 වනදා සිට අගෝස්තු මස 09 වනදා දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 269ක් බවයි.


  • මැතිවරණ සලකුනු ප්‍රකාශයට පත් කෙරේ

පිළිගත් දේශපාලන පක්ෂ මොනවාද යන්න ගැන හා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන සහිතව නිකුත් කර තිබේ. ලබන 15 වනදා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ එම සලකුණු තෝරාගැනීම සිදුකරනු ඇත.