දඹදිව වන්දනාවේ යෑම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා භික්ෂු හැඳුනුම්පතක් ගැනීමට උත්සාහ කරන ලද දසසිල් මාතාවක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ ආරාමයක වැඩ සිටින 50 හැවිරිදි දසසිල් මෙහෙණියෙකි.
මෙම දසසිල් මෑණියන් දඹදිව වන්දනාවේ යෑම සඳහා සූදානම්වී විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් තිබේ. එහෙත් එම දසසිල් මෑණියන් සතුව තිබී ඇත්තේ ගිහි හැඳුනුම්පතක් නිසා ආගමන විගමන නිලධාරීන් පවසා ඇත්තේ ගිහි හැඳුනුම්පතට විදේශ ගමන් බලපත්‍රය ලබා දිය නොහැකි බවත් ඒ සඳහා භික්ෂු හැඳුනුම්පත අවශ්‍ය බවත්ය.
එම අවස්ථාවේ එතනට පැමිණි පුද්ගලයකු තමාට භික්ෂු හැඳුනුම්පත සකස් කර දීමට උදව් කළ හැකි බව ද පවසා ඇත.
එයට දසසිල් මෑණියන් එකඟවූ පසු එම පුද්ගලයා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අත්සනට නිල මුද්‍රාව තැබූ ලිපියක් දසසිල් මෙහෙණින් වහන්සේට ලබාදී ඇත.
එවිට දසසිල් මෙහෙණින් වහන්සේ එම ලිපිය ද භික්ෂු ඡායාරූප ද රැගෙන ගාල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ගොස් අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කොට භික්ෂු හැඳුනුම්පත ඉල්ලුම් කර ඇත.
එහිදී එම කාර්යාලයේ නිලධාරීන්ට ඇතිවූ සැකයක් නිසා මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් විමසා ඇත. එහිදි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසා ඇත්තේ එහි ඇති අත්සන තමාගේ නොවන බවත් එය ව්‍යාජ එකක් බවත්ය. මේ අතර හැඳුනුම්පත ලබා ගැනීමට පැමිණ සිටි සිල් මාතාවට ද ඇතිවූ සැකයක් නිසා එම කාර්යාලයෙන් පිටව ගොස් ඇත.
ඉන්පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් මේ පිළිබඳ ගාල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර සිල් මාතාව අත්අඩංගුවට ගෙන ඇත.
( එස්. දීයගහගේ )
0 Comments