එංගලන්තයට එරෙහිව අද (29) ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තරගයකට එක්වන ශ්‍රී ලංකා පිලට තරගාවලියේ පළමු වතාවට පැතුම් නිශ්ශංක කැඳවා තිබේ. 2022 වසරේ ජූලි මස ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් අද ලෝඩ්ස් ටෙස්ට් තරගයට එක් කර ඇත්තේ ලකුණු අතර නොසිටින අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් වෙනුවටය. දෙපිල අතර මැන්චෙස්ටර් නුවර පැවති පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 24ක් රැස් කළ කුසල් දෙවැනි ඉනිමේ දැවී ගියේ ලකුණු නොලබාය. ඔහු දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට පසුගිය දින කිහිපයේදීම තොරතුරු වාර්තා වූ අතර, එය තහවුරු වූයේ ඊයේ පස්වරුවේදීය.
ශ්‍රී ලංකා පිල ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ වසර අටකට පසුවය. අවසන් වරට 2016 ජූනි මාසයේදී දෙපිල අතර ලෝඩ්ස් පිටියේ පැවැති ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවද, ඒ වන විටත් පළමු තරග 2ම ජය ගෙන සිටි සත්කාරක එංගලන්තය 2-0කින් තරගාවලිය ජය ගත්තේය. දෙපිල අතර පසුගියදා මැන්චෙස්ටර් නුවර පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ එංගලන්ත පිල අද ඇරඹෙන දෙවැනි තරගයේ එවැනිම තරගාවලි ජයක් අපේක්ෂාවෙන් පසුවන්නේ එය ඔවුන්ට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ද ඉදිරියට යෑමට ඉවහල් වන බැවිනි.
සත්කාරක එංගලන්ත පිලේ අපේක්ෂාව එය වූවද පළමු තරගයේ දෙවැනි ඉනිමේදී පිතිකරුවන් දැක්වූ දස්කම් අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වාසියට හේතුවනු ඇතැයි විචාරකයෝ කියති. අනිත් අතට මැන්චෙස්ටර් තරගයේ දෙවැනි ඉනිමේදි රැස් කළ අගනා ශතකය හේතුවෙන් කෝඩුකාර යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල වන ආකාරයේ තුරුම්පුවක් බවට පත්වී ඇත. එංගලන්ත පිලේ ප්රබලතම පන්දු යවන්නන් අසරණ කරමින් කමිඳු මෙන්ඩිස් රැස් කළ ශතකය පිළිබඳ එංගලන්තයේ ක්‍රිකට් විචාරකයන්ගේද අවධානය යොමුවී ඇති අතර, එම ශතකයෙන් පසු ඔහුගේ ටෙස්ට් ලකුණු ලැබීමේ සාමාන්‍යය 92.16ක් විමත්, ටෙස්ට් පිටියේ ලකුණු 500ට වඩා රැස් කර ඇති පිතිකරුවන් අතර එවැනි සාමාන්‍ය ලකුණු ලැබීමත් වාර්තා කර සිටින ලොව දෙවැනි පිතිකරු ඔහු වීමත් එංගලන්ත විචාරකයන් අතර කතාබහට ලක් වී තිබේ. 25 හැවිරිදි මේ වමත් පිතිකරුවා තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 4කට පමණි. මුළු ලකුණු 553ක් ලබා සිටින ඔහු ක්‍රීඩා කළ ඉනිම් 7 අතර ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් ද වේ.
පළමු තරගයේදී පළපුරුදු පිතිකරුවන් වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් අගනා අර්ධ ශතක වාර්තා කිරීමත් නිසා ආරම්භක පිතිකරුවන්ගේ තත්ත්වය කෙසේ වුවද, මැදපෙළ සාර්ථකව ලකුණු අතරට පිවිසීම නායක ධනංජය ද සිල්වාගේ මෙන්ම ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියගේ ද අස්වැසිල්ලට හේතු වී තිබේ.
පැතුම් නිශ්ශංකගේ එක්වීමත් සමඟ අද තරගයේදී ආරම්භක පිතිකරුවන්ගේ සම්බන්ධතාව යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ඇතැයි විශ්වාසය වී තිබේ. පිතිකරුවන්ගේ වෙනස්වීමට අමතරව පන්දු යැවීමේ අංශයේ ද එක් වෙනස්කමක් සිදු කර කරමින් පළමු තරගයට ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දු වෙනුවට අද තරගයට ළහිරු කුමාර කැඳවා තිබේ.
එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නකු වන මාක් වුඩ් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වමත් වේගපන්දු යවන ජොෂ් හල් අද තරගයට එක්වෙයි. 20 හැවිරිදි මේ යොවුන් පන්දු යවන්නා එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලි අතර කැපී පෙනෙන පන්දු යවන්නෙකි. අඩි 6කුත්, අඟල් 7ක් උසැති වමත් පන්දු යවන්නකුගෙන් ඕනෑම කණ්ඩායමකට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ඇතැයි පසුගියදා ඔහු ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වීමෙන් පසු එරට ක්‍රිකට් විචාරකයෝ අදහස් පළ කළහ.
තරගාවලියෙන් 1-0කින් දැනටමත් එංගලන්තය ඉදිරියෙන් සිටියද, අද තරගය ජයගැනීම හෝ ජයපරාජයෙන් තොරව බේරා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන සැප්තැම්බර් 6 වැනිදා ඕවල් පිටියේදී ආරම්භ වන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයට පෙර ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ නංවා ගැනීමට ද එය රුකුලක් වනු ඇත.
අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල මෙසේය.
දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, පැතුම් නිශ්ශංක, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් නිශ්ශංක, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නායක.
(ෆවුස් මොහොමඩ්)
0 Comments