වැඩබලන පොලිස්පතිවරයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස සහ ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට තරග වැදීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ෂාන් රණසූරිය මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම රුපියල් 50,000/-ක නඩු ගාස්තුවකට යටත් කර නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම මෙසේ නිෂ්ප්‍රභ කළේය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, දිලීප් නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය.එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම තුළ මුද්‍රණ දෝෂ මෙන්ම නීතිමය දෝෂ ගණනාවක් දක්නට ඇතැයි කියා සිටියේය.
පදනම් විරහිත, අසත්‍ය හා නොමග යවන සුලු තොරතුරු පදනම් කරගෙන පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියේය.එම අවස්ථාවේදී පෙත්සම්කරුට දැඩි දෝෂාරෝපණ එල්ල කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලීප් නවාස් මහතා මෙසේ පැවැසීය.
පෙත්සම්කරු නීතිඥවරයකු වශයෙන් කටයුතු කරමින් මෙයාකාරයේ පෙත්සමක් ගොනු කිරීම අනුමත කළ නොහැකියි.අදාළ පෙත්සම තුළ මුද්‍රණ දෝෂ පමණක් නොව නීතිමය දෝෂ ගණනාවක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෘජුවම ජනාධිපතිවරයා පෞද්ගලිකවම පාර්ශ්වකරුවකු වශයෙන් නම් කරමින් මේ ආකාරයෙන් පෙත්සමක් ඉදිරිපත් කළ නොහැකියි. පෙත්සම්කරු නීතිඥවරයකු වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබියදී මූලික නීතිමය දැනුමකින් තොරව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
මුද්‍රණ දෝෂ වලින් ඔබ්බට ගිය යටි අරමුණකින් යුක්තව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන ආකාරයත් නිරීක්ෂණය වනවා.
මූලික අයිතිවාසිකම් පෙත්සමකින් ඉල්ලා සිටිය නොහැකි සහන පවා පෙත්සමෙන් පෙත්සම්කරු ඉල්ලා තිබෙන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයකට අනුව පෙත්සම රුපියල් 50,000/-ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරිණි.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත් නම් කරනු ලැබ සිටියහ.වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන පවතිද්දීත් එම පත්කිරීම සිදුකිරීම ජනාධිපතිවරයා විසින් පැහැරහැර ඇති බව පෙත්සමේ සඳහන්ය.
එසේම අභියාචනාධිකරණයේ පුරපාඩුව පවතින විනිසුරු ධුර සඳහා පත් කිරීම් සිදුකිරීම ජනාධිපතිවරයා විසින් මෙතෙක් සිදුකර නොමැති බවද පෙත්සම්කරු කියා සිටී. මේ තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් පෙත්සමෙහි සඳහන් වේ.ඒ අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙස ද ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
රන්ජන් කටුගම්පොළ
0 Comments