after-election-what-happened

එළැඹෙන සැප්තැම්බර් විසිඑක් වැනිදා පැවැත්වෙන්නට නියමිත ජනාධිපතිවරණයේදී කවරකු ජය ගත්තත්, අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිත දේශපාලන සිද්ධියක් ඇත්තේය. එනම් නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. එවිට රටේ මහජනතාවට අලුත් පාර්ලිමේන්තුවක් උදෙසා ස්වකීය නියෝජිතයන් තෝරා ගැනීමට සිදුවනු ඇත.දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතියට අනුව, ජනතාව විසින් ස්වකීය නියෝජිතයන් තෝරාගනු ඇත්තේ ඊනියා සමානුපාතික නියෝජන ක්‍රමයකට අනුගතවය.


නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් සොයන්නාක් මෙන්, මහ මැතිවරණයක් එළඹෙන විට, පවත්නා මැතිවරණ නීතිය සංශෝධනය කිරීම ගැන යළිත් වරක් කතාබහ කරනු අසන්නට ලැබෙයි.එවන් මැතිවරණ නීති සංශෝධනයක් සඳහා, ජනතාවගේඅනුමැතිය ලබාගන්නේ කෙසේදැයි ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට කිසිදු නිනව්වක් ඇත්තේ නැත. ඔවුන් අතර ඒ සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් ඇත්තේද නැත. සමගි සම්මතයක් ගැන නම්, සිතනු පවා ඉතා අසීරුය.ජේ.ආර්. ජයවර්ධනට, ඔහුගේ සොහොයුරු රාජ්‍ය නීතිඥ එච්.ඩබ්ලිව්. ජයවර්ධන සාදා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කොතෙකුත් විවේචන කළ හැක්කේය. එහෙත් එහෙත් ඒ පිළිබඳ බලවත්ම විවේචනය නම්, එමඟින් රටේ බහුතරයේ ගෙල මිරිකා තබන ලද බවය. ඒ වෙනුවට සියලු වරප්‍රසාදත් බලතලත් සුළුතරයට පවරා දුන් බවය. යටත් විජිත පාලකයන්ගේ ‘ඩිවිඩා ඉපෙරාව' හෙවත් 'බෙදා පාලන න්‍යායය' රටේ මූලික නීතිය තුළම ව්‍යවස්ථාගත කෙරුණු බවය.




එසේ කරන ලද්දේ ඊනියා සමානුපාතික නියෝජන ක්‍රමය මගිනි. එකී නියෝජන ක්‍රමය පවත්නා තාක් කල්, දේශපාලන නායකයන් කොතෙක් කටමැත දෙඩුවත්, ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනු බොරුය.පරිපාලන දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාසයක් සේ ගැනීමත්, නියෝජිතයන් සමානුපාතික පදනමක පිහිටා තෝරා පත් කර ගැනීමත්, අපේක්ෂකයන් තිදෙනකු තෝරා පත් කර ගැනීම උදෙසා මනාප ඡන්ද තුනක් දීමට ඡන්දදායකයාට අවස්ථාව සැලසීමත් යන මූලික කාරණා තුනම, ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට හඳුන්වා දෙන ලද්දේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි.


එහි ප්‍රතිඵලයක් වශයෙන් එතෙක් පැවති මැතිවරණ ආසන ක්‍රමය අහෝසි වී ගිය බැව්ද අමතක කළ යුතු නැත. ඒ හේතු කොටගෙන කිසියම් මැතිවරණ බල ප්‍රදේශයක ජනතාවට ඍජුව වගකියන මන්ත්‍රීවරයකු බිහිවීමට තිබුණ ඉඩකඩද සැලකිය යුතු ප්‍රමාණයකින් වැසී ගියේය. ඊටද අමතරව මනාප ඡන්ද ක්‍රමය හේතුවෙන් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ ආරවුල් වැඩිවීමේ ප්‍රවණතාවක්ද උද්ගත වූයේය.එම තත්වය පොදුවේ සමාජයේ යහපත් පැවැත්මටත් පැවැත්මටත් විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී හැඩගැස්මටත් බලවත් තර්ජනයක් වන්නට පටන්ගෙනඇත්තේය. මැතිවරණ බලප්‍රදේශය හැටියට පරිපාලන දිස්ත්‍රික්කය තෝරා ගැනීම හේතුවෙන්, පාර්ලිමේන්තු නියෝජන වරප්‍රසාදය සාමාන්‍ය පන්තියේ ජනතාවගෙන් ගිලිහෙමින් පවත්නේය.

 

සමානුපාතික නියෝජන ක්‍රමය පිළිබඳ මූලික සංකල්පය වනුයේ, එමඟින් සුළුතර ජන කොටස්වලට සහ සුළු දේශපාලන පක්ෂවලට ප්‍රධාන ව්‍යවස්ථාදායකයේ ද, සෙසු පළාත් පාලන සහ ප්‍රාදේශීය මණ්ඩලවලටද සාධාරණ නියෝජනයක් ලබාදීමයි. නිදහසින් පසුව 1978 වන තෙක් පැවති මැතිවරණයන්හිදී ක්‍රියාත්මක වුණු බහුමන්ත්‍රී ආසන තුළ කිසියම් පමණකින් අන්තර්ගත වූයේ සමානුපාතික නියෝජන මූලධර්මයක අංශුවකැයි පෙනී යනු ඇත්තේය. එහෙත් එහිලා අසේස්ථාව සැලසුණේ වාර්ගික සහ ආගමික විශේෂතා සැලකිල්ලට ගැනීම මිස, සුළු දේශපාලන පක්ෂවලට හෝ කණ්ඩායම්වලට ව්‍යවස්ථාදායකය තුළ නියෝජනයක් ලබාදීමට නොවෙයි. සමානුපාතික නියෝජන ක්‍රමයෙහි බරපතළම දුර්විපාකය, 1994 සහ 2000 වසරවල පිහිටුවන ලද පොදු පෙරමුණු ආණ්ඩුවලින්ද, 2001 වසරේදී පිහිටුවන ලද එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවෙන්ද පැහැදිලිව පෙනී ගියේය. මේ සභාග තුළ කේවල් කිරීමේ ශක්තිය ලැබී ඇත්තේ සමානුපාතික නියෝජන ක්‍රමයේ බල මහිමයෙන් ඉස්මතු වුණු ජාතිවාදී, වර්ගවාදී සහ ඇතැම්විට පළාත්වාදී වූ සුළුතර දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලටය. මෙම කණ්ඩායම් ජාතික ප්‍රශ්නවලදී ප්‍රධාන දේශපාලන පක්ෂය, ස්වකීය ජාතිවාදී සහ වර්ගවාදී අන්ත දෙසට අනුකම්පා විරහිතව ඇදගෙන යෑමට වෑයම් කරන අතරම, පවත්නා ආණ්ඩුවේ බල තුලනය චංචල කරමින්ද සිටියි.


එහි අනිවාර්ය ප්‍රතිඵලය කිසියම් ආණ්ඩුවක් තුළ වන ස්ථාවරභාවය මෙන්ම අභ්‍යන්තර ශක්තියද මඳින් මඳ සිඳී යෑමයි. එමතු නොවෙයි, පොදු ජාතික ප්‍රශ්නවලදී පුළුල් දෘෂ්ටියකින් බලන්නට ප්‍රධාන පක්ෂයට ඉඩකඩද එමඟින් අහුරා දැමෙයි.

එහි ප්‍රතිඵලය වනුයේ රටේ දේශපාලනයේ පෞද්ගලික අභිමතාර්ථ පදනම් කරගෙන මොහොතින් මොහොත පටු වීමේ ප්‍රවණතාවක් දෙසට ඇදී යෑමයි. 1978 වසරේදී හඳුන්වා දෙන ලද සමානුපාතික නියෝජන ක්‍රමයේ බිහිසුණු ප්‍රතිඵල අපට අත්විඳින්නට සිදුව ඇත්තේ 1994 වසරේදී සිටය. ඉදිරියට මෙකී තත්වය වඩාත් අනර්ථකර වන ලකුණු විද්‍යමාන වෙමින් පවතියි. රටකට ස්ථාවර ආණ්ඩුවක් ඇති වීමට නම් අවශ්‍ය වනුයේ, ජනමතයේ සංගණනය (Census) නොව, ජනමතයේ සම්මුතිය (Consnsus) බවය. එකී උක්තියට හොඳම නිදසුන සපයන්නේ වර්තමාන යුගයේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලයන්ය.


 යට සඳහන් කළ පරිදි සමානුපාතික නියෝජන ක්‍රමය හේතුවෙන් බලවත් වන සුළු දේශපාලන කණ්ඩායම් සමග පිහිටුවා ගන්නා සභාග ආණ්ඩු හේතුවෙන්, ප්‍රධාන පක්ෂවල ජාතික හා දේශපාලන අනන්‍යතාවද පිරිහෙන්නට පටන්ගනියි. ඉකුත් කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් දේශපාලන හැසිරීම් රටාව සියුම් ලෙස විභාග කර බැලුවොත්, එකී කාරණය මනාව පෙනී යනවා ඇත. මෙම පක්ෂ දෙකම මේ දවස වනවිට, මේ තරම් දුර්වල දුර්මුඛ අසරණ තත්වයකට වැටී සිටින්ට හේතුභූත වුණු කරුණු අතර සමානුපාතික නියෝජන ක්‍රමය කොතරම් දුරට බලපා ඇත්දැයි බලන්නට වටින මූලික කාරණයකි.


 කාලීන වෙනස්කම් අනුව, රටක මතු වන මහජන මතය බොහෝ විට උරාගනු ලබන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසිනි. ඒ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ, ජාතික වශයෙන් පුළුල් දෘෂ්ටියකින් ගොඩනැගෙනවා ඇත. රටේ දේශපාලන සහනශීලයට හේතුකාරක වන එකී යහපත් ප්‍රවණතාවට මේ සමයෙහි බලවත් නැත්තා වූද, බ්‍රිතාන්‍ය පාලකයන්ගේ බෙදා වෙන්කිරීමේ පාලන න්‍යායයෙන් ජාති භේදවාදය ඉස්මතු කරනු ලැබ ඇත්තා වූද, ශ්‍රී ලාංකික සමාජය තුළ වාර්ගික ආගමික සහ ඇතැම්විට කුල භේදය පවා පවා සමාජ දේහය තුළටම කාවැදී යන ආකාරයට තහවුරුවීමට මෙම සමානුපාතික නියෝජන ක්‍රමය හේතුකාරක වන බැව් පෙනී යයි.

එකී මැතිවරණ ක්‍රමයේ අංකුර ප්‍රතිඵලයක් වශයෙන් බිහිව ආ මනාප ක්‍රමය හේතු කොටගෙන, අප සමාජය තුළ කුල භේදය වඩ වඩාත් තහවුරු වෙමින් පවතිනුද දක්නට ලැබෙයි. රටක දේශපාලන සංවර්ධනයේ අනිවාර්යය ලක්ෂණයක් විය යුත්තේ වාර්ගික සහ ආගමික භේද ද, භාෂායික සහ කුල භේද ද නැති කිරීම මිස, ඒවා අවුළුවා සංවර්ධනය කිරීමවත් තහවුරු කිරීමවත් නොවේ. ශ්‍රී ලාංකික සමාජය පටු භේදයන්ගෙන් භේදභින්න කිරීමට, සමානුපාතික නියෝජන ක්‍රමය කොතරම් හේතු භූත වන්නට ඇද්ද යන කාරණය, අනාගත සමාජ විද්‍යාඥයකු විසින් සටහන් කර තබනු ඇත්තේය.


ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වනුයේ 1931 වසරේදී හඳුන්වා දෙන ලද ඩොනමෝර් ප්‍රතිසංස්කරණයයි. එමඟින් අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ සර්වජන ඡන්දය ලැබූ මුල්ම යටත් විජිතය බවට පත් වීමු. සර්වජන ඡන්ද බලය මෙන්ම එතෙක් පැවති වාර්ගික නියෝජන ක්‍රමයද අවලංගු කරන ලද්දේ ඩොනමෝර් ව්‍යවස්ථාව මගිනි.එසේ හෙයින් මීට වසර 83 කට පෙර, එනම් 1931 තරම් ඈත කාලයකදී අපි වාර්ගික නියෝජන ක්‍රමය අවලංගු කරමින්, ප්‍රාදේශීය නියෝජන ක්‍රමයට අවතීර්ණ වූයෙමු. එම වෙනස දේශපාලන සංවර්ධනය දෙසටද, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ක්‍රමයේ අභිවර්ධනය දෙසටද, පොදුවේ ජාතියේ ශිෂ්ට සම්පන්නභාවය දෙසටද, තබන ලද ඉතා වැදගත් යහපත් සුබවාදී පියවරක් විය. අද අපි රවුමක් කැරකී ආපසු පැමිණ සිටින්නේ, එක්තරා ආකාරයක වර්ගවාදී නියෝජන ක්‍රමයකට නොවේදැයි යන විමතිය දැන් තහවුරු වෙමින් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය පිළිබඳ කෙරෙන සියුම් විග්‍රහයකදී පෙනී යනවා ඇත.

බ්‍රිතාන්‍යයෙහි මැතිවරණ ප්‍රතිඵල  සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙතැයි සැලකෙන ‘ඝන න්‍යායය' මගින් විශාද වන ඉතා සරල කාරණය වනුයේ, බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තුළ රජයක් පිහිටුවීමටත් රජයක් ඉවත් කිරීමටත් ජනතාව සතුව පැවති බලය මැනවින් ප්‍රදර්ශනය වීමය.

සමානුපාතික නියෝජන ක්‍රමය මගින් බහුතර ජනතාව වෙතින් උදුරා ගනු ලැබ ඇත්තේ එකී බලවත් දේශපාලන ආයුධයයි.හැම ලිඛිත ව්‍යවස්ථාවක්ම අනම්‍ය වෙයි. ඒ අතින් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ශ්‍රී ව්‍යවස්ථාව අතිශයින්ම අනම්‍ය බැව් පෙනී යන කාරණයකි. එය අනම්‍ය වී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඒ තුළ පනවා ඇති දුෂ්කර විධිවිධාන නිසා පමණක්ම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය වන තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාව ව්‍යවස්ථාදායකයෙන් ලබාගැනීමේ දුෂ්කරතාවද, බලවත් ලෙසම මතු වෙයි. එයට හේතු වනුයේ සමානුපාතික නියෝජන ක්‍රමය හේතු කොටගෙන පාලක පක්ෂය හැමවිටම වාගේ පාර්ලිමේන්තුව තුළ ඉතා සුළු බහුතරයකින් සමන්විත වීමය.

එහෙයින්ම බොහෝ විට දුර්වල සභාග ආණ්ඩු බිහිවීමය. මේ හේතු කොටගෙන 1994 සිට ඉදිරියට පැවති හැම ආණ්ඩුවක් විසින්ම ව්‍යවස්ථා සංශෝධනය උදෙසා දරන ලද සියලුම ප්‍රයත්න අසාර්ථ වී ඇත්තේය. එසේ හෙයින් සමානුපාතික නියෝජන ක්‍රමය පවත්නා තාක් කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශයින්ම අසීරු කටයුත්තක්ව පවතිනවා ඇත. ජනවර්ග අර්බුදය ඇතුළු බොහෝ ජාතික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමේදී, ශ්‍රී ලාංකික ජනතාව ඉදිරියේ අනාගතයේ වුව බලවත්ම අර්බුදය සේ මතුවනු ඇත්තේ සමානුපාතික නියෝජන ක්‍රමයයි.


සමානුපාතික නියෝජන ක්‍රමයත් සමගම, අපගේ මැතිවරණ ක්‍රියාකාරිත්වය තුළට එකතු වූ ‘ලැයිස්තු ක්‍රමය' ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය මොට කරන කාරණයක් බවට පත්ව ඇත. ලැයිස්තු ක්‍රමය අනුව කිසියම් මැතිවරණයක් උදෙසා කිසියම් පක්ෂයකින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන් සංඛ්‍යාව, ලැයිස්තුවක් හැටියට මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදීම මූලික අවශ්‍යතාවකි.කිසියම් පක්ෂයක කිසියම් අපේක්ෂකයකු මෙකී ලැයිස්තුවට ඇතුළත් වීමත්, එකී ලැයිස්තුවේ ආරක්ෂාකාරී තැනක ස්ථානගත වීමත් රඳා පවතිනු ඇත්තේ ඒ අපේක්ෂකයා ජනතාව අතර දරන ප්‍රමුඛතාවට සමීපවීම සහ ශක්තිමක් වීම මතය. වෙනත් වචනවලින් කිවහොත්, පක්ෂ නායකත්වයට අභිමත අයවලුන්ම මෙම ලැයිස්තුවට ඇතුළත් වන බවත්, ඔවුන්ම ජයග්‍රහණය කළ හැකි තැන්වල ස්ථානගත කෙරෙන බවත් පෙනී යයි.


මෙම තත්වය එක පැත්තකින් ජනප්‍රිය ප්‍රාදේශීය නායකයන් ව්‍යවස්ථාදායක සභාවට තෝරා යැවීමට ජනතාවට ඇති අයිතිවාසිකම පැහැර ගැනීමකි. අනෙක් අතට ඒ වූ කලී පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට ඇති අවස්ථා හිරකර දැමීමකි. එහි ප්‍රතිඵලය වනුයේ පක්ෂ නායකත්වය වඩ වඩාත් දර දඬු වීමත්, ඒකාධිපති ප්‍රවණතාවලට නැඹුරු වීමය. එකී ඒකාධිපති ප්‍රවණතා ඡන්දදායක ජනතාව මතම පැටවෙනු ඇත්තේය. එම තත්වයට මඟ පාදා ඇත්තේද සමානුපාතික නියෝජන  ක්‍රමයයි.අඩ සියවසක් තරම් වන කාලයක් තුළ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තහවුරු වෙමින් පැවති ශ්‍රී ලාංකික මැතිවරණ ක්‍රමය සමානුපාතික නියෝජන ක්‍රමය හේතු කොටගෙන බලවත් අර්බුදයකට මුහුණ පා සිටින බැව්, යෝනිසෝමනසිකාරයෙන් සිහි කරනුයෙහෙකිය.
(ආචාර්ය ඩබ්ලියු ඒ. අබේසිංහ)