රස්නායක පොලිස් බල ප්‍රදේශයට අයත් නිකවැරටිය, අඹගම්මන ප්‍රදේශයේ භික්ෂුනී ආරාම ගොඩනැඟිල්ලක අලුයම් කාලයේ ඇතිවූ ගින්නකින් එහි වැඩ සිටි මෙහෙණින් වහන්සේ නමක් පිළිස්සී මිය ගොස් ඇති බව රස්නායකපුර පොලිසිය පැවසීය. මෙදින මෙසේ අපවත්වී ඇත්තේ මෙම ආරාමයේ වැඩවිසූ ප්‍රධාන මෙහෙණින් වහන්සේ ලෙස කටයුතු කළ මිරිහෙලියේ සුපේක්ෂලා (70) මෙහෙණින් වහන්සේය.



මෙම ආරාමයේ මිය ගිය මෙහෙණියට අමතරව තවත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වැඩ සිටින නමුත් එම මෙහෙණිය දින දෙකකට පෙර වෙනත් කටයුත්තක් වෙනුවෙන් පිට පළාතකට වැඩම කර ඇත. ආරාමයට අයත් දායක පිරිස් කියා සිටින්නේ මෙදින රාත්‍රි 1.00 ට පමණ ගින්න ඇතිවී තිබූ බවයි. එහිදී පිරිසක් එක්ව ගින්න පාලනය කළත් මෙහෙණින් වහන්සේ ගින්නට හසුව මිය ගොස් ඇතැයි ද ඔවුහු පැවසූහ. ගින්නෙන් මෙහෙණිය වැඩසිටි ආවාස ගෙයට ද දැඩි හානි සිදුව ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව රස්නායකපුර පොලිසිය පැවසීය.

ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල