අප අහම්බෙන් ජීවිත බේරා ගත් මිනිසුන්ය. දැන්නම් ගලේ ගැහුවත් අප විනාශ කළ නොහැකි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 09 වැනිදා තඹුත්තේගම මැදි මහ විදුහලේ ආදි විද්‍යාර්ථයන් සංවිධානය කළ ආදි සිසු සුහද හමුවේදී තඹුත්තේගම වේරගල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා පවසා සිටියේ, මට ඉගැන්වූ ගුරුවරුන් අතරෙන් අද දින ගුරුවරුන් කීපදෙනකු හමුවීමට ලැබීම ඉතා භාග්‍යයක් ඒ අතර මා සමග පාසල් ගිය සමකාලීන මිතුරන් රැසක් ද හමුවුණා. මරණය එළිපත දකිමින් අප කටයුතු කළා. ශ්‍යාමලී ටීචර් ද ධර්මපාල ගුරුතුමා ද පරාක්‍රම ගුරුතුමා ද වින්සර් අමරසූරිය මහතා ද එම මැතිණිය ද අභාවප්‍රාප්ත වාසල විදුහල්පතිතුමා ද ඉලංගසිංහ ගුරුතුමා ද මට උදවු කළ බව සතුටින් කියනවා. සාමිණි ටීචර් තමයි අපගේ උසස් පෙළ පංතියේ භාරකාරිය වශයෙන් කටයුතු කර මෙම තත්ත්වයට පත් කළේ. මෙම සියලු දෙනාට ස්තූති කරනවා.
1988 – 1989 කාල වකවානුවේ දී ශ්‍යාමලී ටීචර්ගේ ගෙදර රැගෙන ගොස් මා ආරක්ෂා කළා. දුම්රියෙන් මා කොළඹ රැගෙන ගොස් ආරක්ෂාව සැලසුවා.
“අප දුරස් වී සිටියත්, බොහෝ විට අඩුවෙන් කතා කළත්, අපේ බැඳීම් ඒ ආකාරයෙන්ම තිබුණා. අපට පහළ පංතියේ සිටි රංජිත් පසුව පොලිස් නිලධාරියකු වුණා. සරත් සිංගර් ඒජන්සියක වැඩ කළා. සුනිල් පී.එච්.අයි. මහත්තයෙක් වුණා. වෙනත් දේශපාලන ප්‍රවාහයක සිටි වියානගොඩ ස්ටොර්ස් එකේ නාමල් ඉඳහිට හෝ කතා කරනවා. අපේ බිම්බා, පත්මසිරි ඒ වාගේම කරු මේ වෙලාවේ මතක් වෙනවා. කරු පිළියන්දල ප්‍රදේශයට ගිහින් අහම්බෙන් ජීවිතය බේරා ගත්තේ. දැන් නම්, ගලේ ගහලාවත් අපේ ජීවිත ගන්න බැහැ. ඒ යුගය සම්පූර්ණයෙන්ම අවසන්. මේ විද්‍යාලය අපට දුන් කාලය, අධ්‍යාපනය, ළෙන්ගතුකම සහ ආදරය විශාලයි. මේ විදුහල් පියස නොවන්නට අප මොන වාගේ මිනිසුන් වේවිද? මේ පාසල, මේ ගුරුවරු, මේ මිතුරන් නිසයි අපි මෙවැනි මිනිසුන් බවට පත් වුණේ. අප මෙවැනි මිනිසුන් වීම සඳහා පෙළැඹවූයේ මේ සමාජය. ජයග්‍රහණය පේන තෙක් මානයේ නැතිම කාලයක මරණය එළිපත්තට එමින් තිබියෙදීත්, අප සටන් කරන්නේ ඇයි? ඒ හැම දේම ඉගැන්වූයේ මේ ගම, නල්ලච්චිය, මේ ස්ටේෂන් එක වාගේ තැන්වලින් ලැබුණු අත්දැකීම් නිසයි.”
“පාසලේ සිට මේ දක්වා මම රැස්වීම් දසදහස් ගණනක් ආමන්ත්‍රණය කරලා ඇති. පාසලේ ‘කථිකෝදය’ සංගමයේ සභාපතිව සිටියේ මම. දීපිකා තමයි, ලේකම්. රටට මොකක්ද වුණේ, වෙමින් තිබෙන්නේ මොකක්ද, අනාගතයේ සිදු කළ යුත්තේ මොනවාද ආදී වශයෙන් කතා කර තිබෙනවා. නමුත්, අද මම කතා කරන්නේ ජීවිතය ගැන. රැස්වීම් දසදහස් ගණනක් ආමන්ත්‍රණය කර තිබුණත්, ඉතාමත් වැදගත්, ජීවිතයට දැනෙන රැස්වීම මේකයි.
අපි කුඩා කාලයේ සිල් සමාදන් වුණේ මේ නුග ගහ යට. වෙහෙරගල පන්සලේ නායක හාමුදුරුවෝ, රම්බොඩගල්ලේ උපතිස්ස හාමුදුරුවෝ අපට බෞද්ධ ධර්මය ඉගැන්වූවා. අපේ උපන් ගම පිටිසර ආඬියාගම කියන ප්‍රදේශය. අප ඉතා කුඩා අවධියේ තඹුත්තේගමට ඇවිත්, පදිංචිව හිටියේ බෝයගොඩ මෝල ඉදිරියේ තිබුණු අඩි 12ක් පමණ පළල, අඩි 20ක් පමණ දිග කටුමැටි ගහපු ගෙදරක. ඒ ගෙදර අයිති මැන්ඩිස් මුදලාලිට. මාසයකට රුපියල් දහයේ කුලියට ඒ ගෙදර නැවතුණා. තඹුත්තේගම ජීවිතය පටන් ගත්තේ ඒ විදියට. තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලයේ සාමාන්‍යපෙළ දක්වා සිටි අවසන් දරුවෝ අපි. මධ්‍ය මහා විද්‍යාලයක් වූ පසු ගණිත සහ විද්‍යා අංශයෙන් ඉගෙන ගත් පළමු දරුවන් අපි. මේ කාලය තුළ විශාල දේවල් සිදු වී, විශාල කණ්ඩායම් මුණගැසී තිබෙනවා. අපේ ජීවිතය වෙනස් කිරීම සඳහා මේ පාසලත්, අපේ ගුරුවරුත් විශාල වෙහෙසක් දරා තිබෙනවා. අට, නවය පංතිවල අපට විද්‍යාව ඉගැන්වූ පරාක්‍රම සර්ගේ බිරිඳ රාණි ටීචර්. තුනේ පංතියේදී අපේ පංති භාරව හිටියේ ඒ ටීචර්. සාමාන්‍යපෙළදී ගණිතය ඉගැන්වූයේ කහවල ටීචර් සහ බස්නායක ටීචර්. ජීවිතයේ තීරණාත්මක උසස්පෙළ අවධියේදී පංති භාරව කටයුතු කළේ ශ්‍යාමලී ටීචර්. භෞතික විද්‍යාව ඉගැන්වූයේ ධර්මපාල සර්. විමලා ටීචර් වාණිජ අංශයේ ඉගැන්වූවා. අපට ඉගැන්වූයේ නැතත්, සමීප සම්බන්ධතාවක් පැවැත්වූවා. මේ ගුරුවරුන්, පාසල් සොහොයුරන් අපේ ජීවිතය වෙනස් ගමනකට යොමු කරන්න විශාල බලපෑමක් සිදු කළා. පෞද්ගලිකව මාව හොයන්න අවස්ථා ගණනාවක් පාසලට ආවත්, සමහර මැදිහත් වීම් නිසා මාව අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඒ වාගේම ශ්‍යාමලී ටීචර් කවදාවත් කාටවත් කියලා නැති දෙයක් මම කියන්නම්. අසීරුවෙන් සැඟ වී ජීවත් වූ කාලයේ ශ්‍යාමලී ටීචර් මාව මාසයකට ආසන්න කාලයක් සඟවාගෙන සිටියා. එවැනි ගුරුවරුන් නොවෙන්නට අප ජීවතුන් අතර නැහැ. ඒ කාලයේ වෙන කෙනකු සඟවාගෙන සිටීම තමන්ගේ ජීවිතයට අනතුරක් බව දැන දැන දරුවන්ගේ ජීවිත රැක ගත් ගුරුවර, ගුරුවරියන් මේ ඉන්නේ.
ඒ නිසයි මම කීවේ, මෙතැන තියෙන්නේ අපේ ජීවිතය පිළිබඳ කතාවක් කියලා. අප ඉන්නේ රටේ පාලන බලය කවර කණ්ඩායමක් අතට යා යුතුද කියන මැතිවරණයක් අභියස. හිටපු ජනාධිපතිවරයකුගේ බෑනා, හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පුතුන් දෙදෙනෙක් සහ මම! මේ තඹුත්තේගම ගමේ. දෙදෙනෙක් කොළඹ රාජකීය විද්‍යාලයේ. තව කෙනෙක් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ. මම තඹුත්තේගම ගාමිණී විද්‍යාලයේ සහ මධ්‍ය මහා විද්‍යාලයේ. මොන තරම් වෙනස්කම් සහිතවද මේ මැතිවරණයට තරග වදින්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මොන තරම් දේශපාලන වෙනස්කම් සහිත ධාරාවක්ද අප නියෝජනය කරන්නේ? මේ දේශපාලනයට අපව පොළඹවන්නේ අපේ ජීවිතය මිස වෙන කිසිවක් නොවෙයි. ගාමිණී විද්‍යාලයට පසුව මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කළ පසු විද්‍යා සහ ගණිත විෂය ධාරාවන් උසස්පෙළට තිබීම අවශ්‍ය වෙනවා. අපට ඉහළ බොහෝ දරුවෝ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ගියා. අපේ පංතියෙන් පසු විද්‍යා, ගණිත පංති ආරම්භ කරන්න ඕනෑ නිසා ගාමිණී මහා විද්‍යාලයේ දරුවෝ වෙන කිසිම පාසලකට බඳවාගත යුතු නැති බවට තීරණයක් ගෙන තිබුණා. ඒත්, දරුවන් තිදෙනෙක් අස් වී ගියා. අපි එහෙම ප්‍රයත්නයක් දැරුවෙත් නැහැ. අනුරාධපුරයට යාම – ඒම, අපේ ආර්ථිකයට දරා ගන්නත් බැහැ. අපේ විද්‍යා සර් උසස්පෙළ ගණිත, විද්‍යා පංති පටන් ගන්න කොට කීවේ, “ඔයගොල්ලෝ පරීක්‍ෂණයට ගන්න ගෙම්බෝ වගේ” කියලා.
එසේ තිබියදීත්, පළමු පත්වීම ලබා ශ්‍යාමලී ටීචර් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ආවා. ඇයගේ පත්වීම තිබුණේ, ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය ඉගැන්වීමයි. එහෙත්, රසායන විද්‍යාව උගන්වන්න හිටිය සර් හදිසියේ මාරු වී යාමත්, රසායන විද්‍යාවට පරාක්‍රම සර් පැමිණෙන තුරුත්, උසස්පෙළ විෂයයන් හතරම ඉගැන්වූයේ ශ්‍යාමලී ටීචර්. ටීචර් සහ අප අතර ඉතාමත් සමීප සබඳතාවක් තිබුණා. එකින් එක ගුරුවරුන්ට පටබඳින නම් තිබෙන නිසා ටීචර්ට කියන නම මොකක් ද කියලා අපෙන් ඇහුවා. අපි කීවා, ‘කෝච්චිය’ කියලා. ටිකක් වේගයෙන් එන ඇය අපව හික්මීම, පාලනය කිරීම සඳහා විශාල මැදිහත් වීමක් කළා. අපි ඉගෙන ගන්න මහන්සි වෙනවාට වඩා ඇය අපට උගන්වන්න මහන්සි වුණා. ඉස්කෝලේ ඇරිලා ගිහිල්ලා ඊළඟ දවසේ විෂයයන් හතර ඉගැන්වීම සඳහා ක්වාටස් එකේ පාඩම් කළ හැටි ගැන විමලා ටීචර් සාක්‍ෂි දරනවා. අපි එහෙම පාඩම් කළ අය නොවෙයි. ඒවා නොවෙන්න අප මෙහෙම වෙයි ද? අපව සඟවාගෙන නොසිටින්න අපි අද ජීවත් වෙයිද? ඒ වාගේම අපේ මෑණියන් වාගේ කටයුතු කරමින්, කහවල ටීචර් කටයුතු කළ ආකාරය මතකයි. තඹුත්තේගම තිබුණු ලොකුම ගොඩනැඟිල්ල තැපැල් කාර්යාලය. කහවල ටීචර්ගේ මහත්මයා තැපැල් ස්ථානාධිපති. ඒ ගොඩනැඟිල්ලේ උඩ තට්ටුවේ පරිහරණය නොකළ විශාල ඉඩ රෑට පාඩම් කරන්න ලබා දුන්නා. ඒ ලයිට් එළියෙන් පාඩම් කරන කොට ටීචර් අපට තේ හදලා ගෙනැවිත් දුන්නා. එහෙම ගුරුවරුන් නොවන්නට අප අද මෙහෙම ඉඳීවීද?
ඒ නිසා අපේ ජීවිතයේ විශාලම වෙනසක් ඇති කරන්නේ මේ පාසල සහ අපේ ගුරුවරුන්. අපි ගුරුවරුන් ඉල්ලලා, අනුරාධපුරයේ අධ්‍යාපන කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණය කළා. දීපිකා අක්කා ගණිතයට ඉතාම දක්‍ෂ වුවත්, වාණිජ විෂය ධාරාව උසස් පෙළට කරලා අවුරුද්දකට පස්සේ ගණිත ගුරුවරුන් ලැබුණාම නැවත ගණිත අංශයේ ඉගෙන ගන්න පටන් ගත්තා. අප අධ්‍යාපනයෙන් පිටමං කරන ලද මිනිසුන් බව මතක තබා ගන්න. මෑතක දී තඹුත්තේගමට ආ ජනාධිපතිවරයා කියා තිබුණා, විද්‍යා, ගණිත විෂයයන් ආරම්භ කරන්න මේ ඉස්කෝලයට ගොඩනැඟිල්ලක් දුන්නේ ඔහුයි කියලා. හැබැයි, අදත් මෙතැන ජීවත් වන්න ඕනෑ බොහෝ අය ඔහුගේ ආණ්ඩුවෙන් නැති කළ බව තේරුම් ගත යුතුයි. චන්දිමාල් කියන්නේ ඉතාමත් දක්‍ෂ, ජනප්‍රිය සිසුවෙක්. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. චන්දිමාල්, ඔහුගේ මල්ලී, අම්මා සහ තාත්තා හතර දෙනාම ඝාතනය කළා. මොන තරම් මෘගද කියනවා නම්, චන්දිමාල් ඝාතනය කළේ පාසල ඉදිරිපිටදී. ඉතිහාසය ඒකයි. අපට ඉහළ පංතියක වසන්ත ප්‍රේමසිරි හිටියා. අනුරාධපුර සෙන්ට්‍රල් එකට ඔහු මාරු වී උසස්පෙළ සඳහා ගියා. ඔහු පැහැරගෙන යන්න ආ අවස්ථාවේ ඔහුගේ නැඟණිය ඉන්දු, පැමිණි අයගේ අත්වල එල්ලුණා. ඒ දෙදෙනාම පැහැරගෙන ගිහින් මුසල්පිටිය වැව් පිටියේ වධ දී, නැඟණිය දූෂණය කර දෙදෙනාම ඝාතනය කර තිබුණා. සාමාන්‍යපෙළ දක්වා අපත් එක්ක දෙමටවැවේ වසන්ත සිසිර රත්නායක ඉගෙන ගත්තා. ඔහු මහනුවර නුගවෙල සෙන්ට්‍රල් එකට ගියා. ඔහු, ඔහුගේ පියා, මාමා සහ බාප්පා යන හතර දෙනාම ඝාතනය කෙරුණා. පාසල් අවධියේ මාත් එක්ක ඇඳේ නිඳාගත් මහා විද්‍යාලය දක්වා එකට පයින් ගිය කවදාවත් දෙදෙනා අතර රණ්ඩුවක් නොවූ, මම ගණිතය විෂයය කරද්දී, විද්‍යා විෂයය කළ මගේ අයියා නාගානන්ද දිසානායක ඝාතනය කෙරුණා. අපේ ගෙවල් ආසන්නයේ සිටි මගේ මිතුරා ප්‍රේමසිරි ඝාතනය කෙරුණා.
මේ සිදුවීම් ඉරණම ලෙස සලකා ඔහේ ගලාගෙන යාමට ඉඩ දිය යුතුද? අධ්‍යාපනයේ පවතින විෂමතා කරුමය ලෙස සලකා ජීවත් විය යුතුද? අපේ ඇස් ඉදිරිපිට අසල්වැසියන් මිය යන හැටි අප දැක තිබෙනවා. දහය පංතිය දක්වා අපත් එක්ක ඉගෙන ගත් ලාල් සොහොයුරා හමුදාවට ගිහින් මිය ගියා. ඒ වාගේ ම නදීක ප්‍රසංග හෙට්ටිආරච්චි බීමත්භාවයට ඇබ්බැහි වී මිය ගියා. ඉතාමත් දක්‍ෂ අයිරානි ෆොන්සේකා මට එවූ මුතුකැට වාගේ අකුරු ඇති ලියුම් 1993 රහසින් මේ ප්‍රදේශයෙන් එන විටත් මා ළඟ තිබුණා. හමුදාවෙදි ඇයගේ ජීවිතය කෙළවර වුණා.
අපේ පංතිවල ඉතාමත් දක්‍ෂ දරුවන් හිටියත්, ගොඩක් අය විෂයයන් හතරම ෆේල්. මේ අසාධාරණය අපි ජීවිතවලින් දකිනවා. අපේ ගම්වල මිනිස්සු රස ආහාර වේලක් නැතිව, හොඳ වාතාශ්‍රයක් ඇති නිවාස නැතිව වාගේම විශාල බලාපොරොත්තු සහිතව ගොඩනඟන දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා තමන්ගේ ඇස් ඉදිරිපිටම දකිමින් මිය යනවා. අපට හදවතක් තිබෙනවා නම්, අනෙකාගේ දුක, වේදනාව දැනෙනවා නම්, අපේ කන් දෙකෙන් අනෙකාගේ දුකේ, වේදනාවේ හඬ අපට ඇසෙනවා නම්, අපේ ඇස් දෙකෙන් අනෙකාගේ ජීවිත විනාශ වන හැටි දකිනවා නම්, මේ කාර්යය දමා පලා යන්න අපට යුක්තිසහගත අයිතියක් නැහැ. පොදු ජනයා පසෙක දමන ලද දුෂ්ට දේශපාලන ව්‍යසනය වෙනස් කරනවා කියන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කුඩා කල සිට අප වැඩ කරන්නට පටන් ගත්තා. මම මේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ 1988 මුලභාගයේ. ආසන්න වශයෙන් දැන් අවුරුදු තිස්හයක්. අඛණ්ඩව, නොසැලී පෞද්ගලික ජීවිතයේත්, දේශපාලන ජීවිතයේත් විශාල කටුක අත්දැකීම්වලට මුහුණ දුන්නත්, සියලු ඛේදවාචකයන් දකින තත්වයක් තුළ මෙය ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කළා. අපේ දෙමාපියන් විඳි දුක, අපේ පාසල් සොහොයුරන් විඳි දුක, අපේ ගුරුවර, ගුරුවරියන් විඳි දුක් වේදනා තිබෙන ලෝකයක් අපට වැඩක් නැහැ. ගුරුවර, ගුරුවරියන් එසේ දුක් විඳිය යුතු නැහැ. උදේ 7.30 සිට 1.30 දක්වා විෂයයන් හතරම උගන්වන්න සිදු වෙනවා නම්, එය මොන තරම් ඛේදවාචකයක්ද? ඒ සියලු අත්දැකීම් අපට බල කළේ මෙය වෙනස් කරන්නයි. පෞද්ගලිකව මට කිසිදු යුක්තිසහගත අයිතියක් නැහැ මෙය දාලා යන්න. අපත් එක්ක සිටි සොහොයුරන් මිය ගියා නම්, අපව දේශපාලනයට ගෙන ආ සොහොයුරන් මියගියා නම් මෙය අත්හැර යන්න අපට කිසිදු යුක්තිසහගත අයිතියක් නැහැ. ඒ නිසා ජයග්‍රහණය සඳහා මෙහෙයවනවාය කියන අධිෂ්ඨානයෙන් යුතුව වැඩ කළා. මේ මොහොතේ අප වෙත පැවරී තිබෙන වගකීම අප ඉටු කරන්නේ නැත්නම්, කරන්නේ කවුරුන්ද? ජනාධිපතිලාගේ පුතාලා කරයිද? ඔවුන් කවදාවත් පොදු ජනතාව ගැන කල්පනා කළ අය නොවෙයි. ඔවුන් හැම වේලාවේම පොදු ජනතාව රැවටීමට ලක් කරන, ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ වටේ ඉන්න ව්‍යාපාරිකයන් පැලැන්තියක් නඩත්තු කරනවා.
ඒ නිසා මෙය වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. ඒ සඳහා ඉතාමත් ආසන්න අවස්ථාවකට අප පැමිණ සිටිනවා. අප මෙපමණ කල් සියල්ල දරාගෙන සිටියා. 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය සියයට තුනට වැටුණු අවස්ථාවේ සමහර අය විහිළු කළා. විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත් යහළුවන් කීවා, මිනිසුන්ට වුවමනා නැත්නම්, අතහැර දමන්න කියලා. නමුත්, අපට මේ ගමේ, මේ පාසලේ, මේ රටේ මිනිසුන්ගේ දුක, වේදනාව අපට අමතක කරන්න බැහැ. මේ නුගගහ, මේ පන්සල අප අමතක කරන්නේ කොහොම ද? අපේ ගම, සුවඳ, අපේ ජීවිතය, අපේ භූමිය අපේ ඇස් ඉදිරිපිට විනාශ වන තත්වය වෙනස් කළ යුතුයි. ඒ හැර කිසිදු පෞද්ගලික අරමුණක් වෙනුවෙන් මේ දේශපාලනය තෝරාගෙන නැහැ. එකම අධිෂ්ඨානය අපේ රටේ පොදු ජනතාවට මීට වඩා යහපත් ජීවිතයක් ලබා දීමයි. අපි අවුරුදු දහස් ගණනක් ජීවත් වනවා නම්, අවුරුදු සීයක් දුක් විඳලා, නවසීයක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නමුත්, අප ජීවත් වන්නේ අවුරුදු හැත්තෑවක්, අසූවක්. මේ කාලය තුළ අපට ජීවිතයක් අවශ්‍යයි. අපේ ගම්වල දරුවන් ඉන්නවා, මුහුණේ සිනාපොදක් නැති, දරකෝටු වාගේ සිරුරු තිබෙන අය. හැඟීම්, දැනීම් නැති මිය ගිය අය වාගේ ඉන්න පිරිසට ජීවිතයක් ගොඩනඟා දෙන්න ඕනැ නැද්ද?
විවිධ කාලවල විවිධ දේශපාලන තීන්දු ඔබ සැම ගන්න ඇති. නමුත්, මේ මොහොතේ අතීතය පැත්තකට දමා අලුත් තීන්දුවක් ගන්න ඕනෑ. අප දුරස් වී සිටියත්, බොහෝ විට අඩුවෙන් කතා කළත්, අපේ බැඳීම් ඒ ආකාරයෙන්ම තිබුණා. අපට පහළ පංතියේ සිටි රංජිත් පසුව පොලිස් නිලධාරියකු වුණා. සරත් සිංගර් ඒජන්සියක වැඩ කළා. සුනිල් පී.එච්.අයි. මහත්තයෙක් වුණා. වෙනත් දේශපාලන ප්‍රවාහයක සිටි වියානගොඩ ස්ටොර්ස් එකේ නාමල් ඉඳහිට හෝ කතා කරනවා. අපේ බිම්බා, පත්මසිරි ඒ වාගේම කරු මේ වෙලාවේ මතක් වෙනවා. කරු පිළියන්දල ප්‍රදේශයට ගිහින් අහම්බෙන් ජීවිතය බේරා ගත්තේ. දැන් නම්, ගලේ ගහලාවත් අපේ ජීවිත ගන්න බැහැ. ඒ යුගය සම්පූර්ණයෙන්ම අවසන්. මේ විද්‍යාලය අපට දුන් කාලය, අධ්‍යාපනය, ළෙන්ගතුකම සහ ආදරය විශාලයි. මේ විදුහල් පියස නොවන්නට අප මොන වාගේ මිනිසුන් වේවිද? මේ පාසල, මේ ගුරුවරු, මේ මිතුරන් නිසයි අපි මෙවැනි මිනිසුන් බවට පත් වුණේ. අප මෙවැනි මිනිසුන් වීම සඳහා පෙළැඹවූයේ මේ සමාජය. ජයග්‍රහණය පේන තෙක් මානයේ නැතිම කාලයක මරණය එළිපත්තට එමින් තිබියෙදීත්, අප සටන් කරන්නේ ඇයි? ඒ හැම දේම ඉගැන්වූයේ මේ ගම, නල්ලච්චිය, මේ ස්ටේෂන් එක වාගේ තැන්වලින් ලැබුණු අත්දැකීම් නිසයි. අපි පොඩි කාලේ මේ ඉස්පිරිතාලේ වැඩ කළේ දෙමළ දොස්තර මහත්තයෙක්. අපේ අප්පච්චි මිනින්දෝරු කම්කරුවෙක් හැටියට වැඩ කළේ කනගරාජා කියන මිනින්දෝරු මහත්මයා ළඟ. අපේ ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් දෙමළ මහත්මයෙක්. අසූතුනේ දී ස්ටේෂන් මාස්ටර්ට ගහලා ලේ පෙරෙන ආකාරය අපේ ඇස් ඉදිරිපිට දැක්කා. අපි විඳි මේ ඛේදවාචක වෙනස් කරන්නට ඕනෑ නැද්ද?
පොත පතින්, අධ්‍යයනයෙන් ජීවිතයට උකහා ගන්න බැරි ගොඩක් දේවල් මේ තඹුත්තේගම අපට පාඩම් හැටියට කියා දුන්නා. මේ වෙලාවේ අමතක නොකළ යුතු වාසල විදුහල්පතිතුමා මතක් වෙනවා. මම ඉස්කෝලේ යන කොටත්, ඉස්කෝලෙන් සමු ගන්න කොටත් විදුහල්පතිතුමා විදියට හිටියේ වාසල මහත්තයා. ටිකක් සැරයි. අපව හැදුවා; අපව පෝෂණය කළා. අපේ ජීවිතය මේ ඉලක්කවලට අපව පෙළඹ වූ බවයි මා නැවත නැවතත් මතක් කරන්නේ. ඒ නිසා මේ පාසලට, මේ බිමට, මේ මිනිසුන්ට අපේ හදවතේ තිබෙන ප්‍රණාමය දශමයකින්වත් අඩු වන්නේ නැහැ. එය තව තවත් වර්ධනය වෙනවා. මෙවැනි රැස්වීමක් සංවිධානය කර අපට ආරාධනා කළ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. යුක්තිය පිළිබඳව සාධාරණත්වය පිළිබඳව හැඟීම් තිබෙන මනුෂ්‍යත්වය පිළිබඳව තෙතමනයක් තිබෙන කිසිවකුටත් මේ සමාජය මේ ලෙස ගලාගෙන යාමට ඉඩ දීමේ කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා අප හැම දෙනාම මෙය වෙනස් කිරීම සඳහා ප්‍රයත්න දරමු. අවසන් වශයෙන් එක සහතිකයක් දෙන්නම්. මා මෙතැනත්, මෙතැනින් පිටතත් මේ රට සහ මේ රටේ මිනිසුන් අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනකින්වත් බිඳවැටෙන්න දෙන්නේ නැහැ. සහතික වශයෙන් ඒ විශ්වාසය සුරකිනවා. අපේ ජීවිතවලට උකහාගෙන තිබෙන වටිනාකම් ඒවායි. පාර්ලිමේන්තුවේ අවුරුදු විසිහතරක් වුවත්, යම් කාලයකට අමාත්‍ය ධුර දැරුවත්, රුපියල්වලින්, දේපොළවලින් වත්කම් උපයාගෙන නැහැ. මේ සමාජයේ විශ්වාසය සහ ගෞරවය අප උපයාගෙන තිබෙනවා. අපේ පාලනයකදී ඒ විශ්වාසය සහ ගෞරවය වෙනස් වෙන්නේ නැහැ. ඒ ගෞරවය තව තවත් වැඩි වන ආණ්ඩුවක් අපට බිහි කළ හැකියි. ඒ සඳහා එකතු වන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.”
අප ඉගෙන ගන්නා කාලයේදී අපේ ගෙවල්වල විදුලිය තිබුණේ නැහැ. ඉතා දුෂ්කරව අප ඉගෙන ගත්තා. ඒ කාලයේ විදුලිය තිබුණේ තඹුත්තේගම තැපැල් කාර්යාලයේ පමණයි. එම කාලයේදී එහි පැමිණ එම ලයිට් එළියෙන් පාඩම් කිරීම් සිදුකළා. 1988 – 1989 කාලවලදී සමකාලින මිතුරන් රාජ්‍ය හමුදාවන් විසින් ඝාතනය කළා. අපි ද යම්තමින් බේරුණා.
මේ රටේ පාලකයන් මෙතෙක් රට පාලනය කර ඇත්තේ පොදු ජනතාව ඇන්දවීමෙනි. මෙම ක්‍රමය වෙනස් කළ යුතුයි. එම අවස්ථාව අපට ලැබී තිබෙනවා. අපගේ යාළුවෝ අපට කියා තිබෙනවා මෙම ව්‍යායාමය අත්හැරිය යුතු බව. එහෙත් පෙර පාලනය අපට අමතක කළ නොහැක. අපේ භූමිය ආරක්ෂා කළ යුතුයි. විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ. ජනතාවට හොඳ ජීවිතයක් ඇති කිරීමට ක්‍රියාකළ යුතුයි. අවු. 80 වැනි කෙටි කලක් තමයි අප ජීවත්වන්නේ. මිනිස්සුනට හොඳ ජීවිතයක් ලබා දිය යුතුයි. පැරණි තීන්දු අත්හැරදමා නව තීන්දු ගත යුතුයැයි කීය.
මෙම උත්සව අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතාට පාසල් අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන් රැසක් ද සමකාලීන මිතුරන් කීපදෙනකු ද වෙහෙරගල විහාරාධිපති තඹුත්තේගම දමිත හිමියෝ ද කතා කළහ.
තවද මෙම විදුහලේ ආදි සිසුවකු වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වී අදහස් දැක්වීය.
0 Comments