anuradapura-hospital-incident

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පහරදීමට තැත් කර ශාරීරිකව හිංසා කළ බව කියමින් එහි වෛද්‍යවරයකු රෝහල්ගතව ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.රාජකාරි වෙලාවේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්

ඇතිවූ බහින්බස්වීමක දී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තමාට පහරදීමට තැත් කළැයි පවසමින් එම වෛද්‍යවරයා මෙසේ රෝහල්ගතවී සිටී.රෝහල්ගත වී ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විසි එකේ වාට්ටුවේ ලක්ෂිත නුවන් බණ්ඩාර නමැති වෛද්‍යවරයාය.මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට වෛද්‍යවරයා කැඳවා ඇති අවස්ථාවේදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හා එම වෛද්‍යවරයා අතර බහින් බස්වීමක් සිදුවී ඇති බවත්

අධ්‍යක්ෂවරයා එහිදී තමාට පහර දීමට උත්සහ කරමින් තමාගේ අතින් පයින් ඇද්ද බවත් වෛද්‍යවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත.


මේ සම්බන්ධයෙන් අපේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාගෙන් කළ විමසීමක දී එයාගේ වැරදි වහගන්න දැන් රෝහල්ගත වෙලා ඉන්නවා. ඔය සිද්ධිය වෙන වෙලාවේ මමත් ළඟ හිටියා. එවැනි දෙයක් වෙලා නෑ. රාජකාරී වේලාවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන නිසා ඒක අහන්නයි එයාට එන්න කියල තිබුණේ'' යනුවෙන් ප්‍රකාශ කළේය.අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11 හි නේවාසිකව ප්‍රතිකාර ලබන ලක්ෂිත නුවන් බණ්ඩාර වෛද්‍යවරයාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

“මම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා කියලා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මගේ පස්සේ පන්නනවා.

විනය පරීක්ෂණත් ලෑස්ති කරලා තියෙනවා. වෙනදා වගේ අදත් එයාගේ කාර්යාලයට එන්න කිව්වම මම ගියා. මගේ ෆෝන් එක ඉල්ලුවා චෙක් කරන්න ඕන කියලා. පෞද්ගලික ෆෝන් එක දෙන්න බෑ කීවාට පස්සේ බහින්බස්වීමක් ඇති වුණා. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මට කුණුහරුපෙන් බැන වැදුණා. ඒ අසල සිටි බොහෝ දෙනකු මේ සිද්ධිය දැක්කා. මට ගහන්න ආවා. මගේ අතින් පයින් ඇද්දා. මම බේරෙන්න හිතල අධ්‍යක්ෂ දුලාන් සර් ළඟට දිව ගියා. දැන් මට මානසික පීඩනයක් පවතිනවා. මගේ පපුව රිදෙනවා. ඒ නිසා මම ප්‍රතිකාර ගන්න රෝහල් ගත වුණා". මේ සම්බන්ධයෙන් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.

උපුල් හේරත්