asalanka-speaks

 තමන් ඇතුළු කණ්ඩායමේ පිතිකරුවන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු නැවතත් සුන් කළ බවත්, වෘත්තීය ක්‍රීඩකයන් ලෙස පීඩනය දරාගෙන ක්‍රීඩා කිරීමට ඉගෙනගත යුතු බවත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක චරිත් අසලංක පැවසීය. ඉන්දියාව සමග පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කීවේය. ඔහු මෙසේද පැවසුවේය.


'අපි නැවතත් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් කළා. අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි. අප නැවතත් පෙන්නුවා හොදම මට්ටමේ කණ්ඩායම් සමගින් ක්‍රීඩා කරන්න මීට වඩා වැඩිදියුණු විය යුතු බව. මේක අපේ අතේ තිබුණු තරගයක්.තරගය මැදදී මා ඇතුළු පිතිකරුවන් කීපදෙනෙක් වැරදි පහරවල් තෝරා ගැනීම තමයි පරාජයට මූලික වුණේ. නමුත් නායකයා විදිහට මම හිතනවා.

මගේ මෝටිවේෂන් එක මම අරගෙන කාලෙක නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්නවා කියලා.මෙහිදී සූර්යකුමාර් යාදව්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන්ද චරිත් අදහස් දැක්වීය. අන්තර්ජාතික විස්සයි20 පිටියේ සිය මංගල පන්දුයැවීම වාර්තා කළ, නිත්‍යපිතිකරුවකු වූ  සූර්යකුමාර් මෙම තරගයේ 20වැනි පන්දුවාරයේදී කඩුලු දෙකක් සමග ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 3ක් පමණි.


'තණනිල්ලේ දඟ කැවීමත් එක්ක මම හිතුවා කවුරු හරි අතිරේක පන්දුයවන්නෙක් පන්දු යවන්න එයි කියල.

නමුත් මම හිතන්නෙ නෑ ඔවුන්ට කඩුලු ලබාදෙන්න තරම් මට්ටමට අපි වැටෙන්න ඕන කියල.


'අපි කොච්චර පුහුණුවීම් කළත් වැඩක් නෑ ජාත්‍යන්තර ක්‍රීඩකයන් වශයෙන් අපගේ මනස තරගයට ගියාම හරියට හැසිරෙන්න ඕන. එළියේ ඉන්න මනුස්සයා නෙමෙයි තරගයක් ඇතුළට ගියහම ඉන්නෙ. ඒ පීඩනය හසුරවා ගත යුතුයි. ඒකට තමයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ වශයෙන් ඒක අපේ රැකියාව. යැයිද හෙතෙම පැවසීය.මේ අතර නිමාවූ එල්.පී.එල්. තරගාවලියේ හා මෙම තරගාවලියේදී තමන්ට ලැබුණු තණතිලි පිළිබඳවද චරිත් අදහස් දැක්වීය.


'එල්.පී.එල්. තරගාවලියේදී අපිට ලැබුණු තණතිලි ගොඩක් පිතිකරුවන්ට වාසිදායකයි. නමුත් මෙම තරගාවලියේදී එහෙම වාසිදායක තත්ත්වයක් අපි දැක්කෙ නෑ. දඟපන්දු යවන්නන්ට ගොඩක් වාසිදායක වුණා.පිතිකරුවන් විදිහට එහෙම නිදහසට කාරණා කියන්න බෑ. නමුත් අපේ එක ධනාත්මක දෙයක් විදිහට මේ තරග තුනේන්ම අපේ මුල් පෙළ පිතිකරුවන් තුන්දෙනා ලකුණු ලබා ගත්තා. අපි මැද පෙළ තමයි හදා ගත යුත්තේ.

(ඕෂිත වරකපිටිය)