athurugiriya-incident

වසර විස්සක් පමණ හුදකලාව වාසය කරමින් සිටියදී අබිරහස් ලෙස මියගොස් සිටි පෙර පාසල් ගුරුවරියකගේ මළසිරුරක් මරණින් දින හතරකට පමණ පසුව සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ හෝකන්දර මාලසිංහගොඩ පාරේ අංක 324 හි පදිංචි අප්පු කුට්ටිආරච්චිලාගේ දෝන නයනා පෙරේරා නමැති (62) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.




මෙම කාන්තාවගේ සැමියා මිය යාමෙන් පසුව වසර විස්සක් පමණ කාලයක් හුදකලාව වාසය කර ඇති අතර ඇයගේ දුක සැප සොයා බැලීම සඳහා සිට සිට ඇත්තේ ඇයගේ එකම සොහොයුරිය බවත් ඇය සතියකට වරක් මෙම නිවසට පැමිණ මියගිය කාන්තාවගේ දුක සැප සොයා බලන බවත් පොලිසිය පවසයි.

ඒ අනුව ඇය බැලීම සඳහා ඉකුත් 11 වැනිදා සොහොයුරියගේ නිවසට පැමිණෙන අවස්ථාවේදී නිවස තුළින් අධික දුගඳක් එන බව දැනී සැකසිතී ඒ බව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරින් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී නිවසේ මුළුතැන් ගෙයි මුනින් අතට වැටී මිය ගොස් සිටි කාන්තාවගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.


ඇය මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර හඳුනාගත නොහැකි තරමටම මළ සිරුර නරක් වී අධික ලෙස දුගඳ හමමින් තිබූ බව පොලිසිය කියයි.ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා

දේහය අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළේය. එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න