ඔස්ට්‍රේලියාවේ හෙද සේවාවේ රැකියා ලබා දෙන බව පවසා රජයේ රෝහල්වල සේවය කරන හෙදියන් සිව්දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ එකසිය දෙකක පමණ මුදලක් වංචනික ලෙස ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රජයේ රෝහල්වල හෙද සේවාවේ හිටපු හෙද නිලධාර්නියක සැප්තැම්බර් මස 5 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ හිටපු හෙද නිලධාරීනියක වන අනුරාධපුර ජයන්ති මාවතේ පදිංචි ටී. ඒ. නිලුකා නිමන්ති ගුණරත්න නැමැත්තියකි.කැකිරාව විජිතපුර ප්‍රදේශයේ පදිංචි තවත් හෙද නිලධාරියෙකු වන කමල්දීන් මහසීර් මොහොම්මදු යන අයද ඔස්ට්‍රේලියාවේ හෙද සේවාවේ රැකියාවකට යවන බව පවසා ඔහුගෙන් ද රුපියල් ලක්ෂ විසිහයක පමණ මුදලක් වංචනිකව ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියකටද අදාළව මෙම සැකකාරිය මේ මස 29 දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කළාය.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියා සිටියේ මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි. එබැවින් සැකකාරිය රිමාන්ඩ් කරන්නැයිද විශේෂ අපරාධ විමර්ශන අංශය අධිකරණයෙන් අයැද සිටියේය.රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරිනියන් වන එස්. ඒ. ඉසංකා හර්ෂනී, එල්. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී සහ ආර්. කේ. මල්ලිකා ඉරෝෂණී රාජපක්ෂ සහ ජේ. ඒ. තක්ෂිලා සුදර්ශනී යන මහත්මීන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට වෙන් වෙන් වශයෙන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකාර හිටපු හෙද නිලධාරීනිය අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
උපාලි ආනන්ද
0 Comments