bandaragama-incident

ඉඩම් හිමි විශ්‍රාමික ධනවතෙකුට දුරකථනයෙන් මරණීය තර්ජන කර රුපියල් ලක්ෂ 40 ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ දැරූ බව කියන පුද්ගලයෙකු බණ්ඩාරගම දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.සැකකරු සමග විශ්‍රාමිකයාට තර්ජනය කිරීම සඳහා යොදාගත් ජංගම දුරකථනය, සිම් කාඩ් පත් දෙකක්, සැකකරුට කප්පම් මුදල් ලෙස හගවා ලබාදීමට සකස් කළ කොළ අඩංගු කුඩා පාර්සලයක් මෙන්ම යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.




බණ්ඩාරගම ප්‍රදේශයේ පැමිණිලිකාර විශ්‍රාමික පුද්ගලයා මෙන්ම ඔහුගේ බිරිඳට ප්‍රදේශ රැසක ඉඩකඩම් තිබෙන අතර මීට වසර දෙකකට පමණ ඉහතදී ද ඔහුගේ බිරියගේ නමට තිබූ ඉඩමක් රුපියල් කෝටි ගණනාවකට විකුණා තිබූ බව කියයි.

ඉන් දින කීපයකට පසු පැමිණි තර්ජනාත්මක දුරකථන ඇමතුම් හමුවේ අසරණ වූ එම යුවළ ඇමතුම ලබා දුන් පුද්ගලයාගේ ඉල්ලීම පරිදි ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාදී ඇති බව මෙම සිදු වීමෙන් පසු අනාවරණය වූ බව පොලිසිය කියයි.


ජීවිතයට ඇති ආසාව හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොකළ බව පැමිණිලිකරු ප්‍රකාශ කර ඇතැයි ද පොලිසිය කියයි.බණ්ඩාරගම ප්‍රදේශයේ පැමිණිලිකරුට අයත් පර්චස් 290 ක ඉඩමක් මීට මාසයකට පමණ ඉහතද රුපයල කොට අරක මුදලකට විකුණා ඇති අතර සති දෙකකට පමණ පසු ඉඩම මිලට ගත් සමාගම කිසිදු පුද්ගලයකුට අනවසරයෙන් ඇතුළු විය නොහැකි බවටත් දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර ඇතැයි පොලිසිය කියයි.ඉන් දින කීපයකට පසු පැමිණිකාර විශ්‍රාමිකයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා දී මුදල් ඉල්ලා තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

මේ අයුරින් එක්දිනක් දුරකථන ඇමතුම් 18 කට වඩා පැමිණ ඇති අතර මේ දක්වා ඇමතුම් 50 කට ආසන්න සංඛ්‍යාවක් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කරමින් විශ්‍රාමික පැමිණිලිකරුට ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.




ඔහුට පෙරේදා 20 වැනිදා ඇමතුම් ලබා දී ඇති අතර මුදල් ලබා නොදුන්නොත් ඔළුව කුඩු වෙන්න වෙඩි තබා මරා දමන බවටද තර්ජනය කර ඇතැයිද පොලිසිය කියයි.මෙයින් දැඩි භීතියට පත්වූ විශ්‍රාමිකයා පිළිබඳව හිතවතකුට පැවසීමෙන් අනතුරුව ඔහු විශ්‍රාමිකයා පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා හමුවට රැගෙන ගොස් පැමිණිලි කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක එච්.කේ.කේ.සී. මදුසංක මහතා කාර්යාලයට ගෙන්වා අවශ්‍ය ලක්ෂ 40 ක මුදල් යැයි හැඟවෙන පාර්සලයක්ද ඔහු වෙත ලබා දී කප්පම්කරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමටද ලහි ලහියේ කටයුතු කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂකවරයා පැමිණිළිකාර විශ්‍රාමිකයාට කප්පම්කරු දුරකථනයෙන් සම්බන්ධ වන ලෙස උපදෙස් ලබා දීමෙන් අනතුරුව කප්පම් මුදල් සේ සකස් කළ පාර්සලය ද ඔහු වෙත ලබා දී කප්පම්කරු බණ්ඩාරගමට පැමිණි විශ්‍රාමිකයාගේ අතින් පාර්සලය ලබා ගනිද්දී අවට රැකවල්ලා සිටි පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



 

අත්අඩංගුවට ගැනුණ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී මාර්ගයේ රැඳී සිටිමින් සිම්පත් විකුණන පුද්ගලයකුට රුපියල් 5000 ක් ලබා දී වෙනත් පුද්ගලයකුගේ නමින් ලියාපදිංචි වී සිම්පත් දෙකක් ලබාගෙන මෙම කාර්යය සඳහා යොදාගත් බවද සඳහන් කළේය.සැකකරු මීට පෙර නිදන් හැරීමේ සිද්ධියක් ඇතුළු අපරාධ රැසකට සිරගතව සිට පැමිණි පුද්ගලයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි.කිරිවත්තුඩුව ප්‍රදේශයේ 58 හැවිරිදි තිදරු පියකු වන සැකකරු පෙදරේරු වෘත්තියේ යෙදෙන්නෙකු වන අතර ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)