ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ණය කාඩ්පතක් ඔහුගේ අනුදැනුමකින් තොරව ලබාගෙන පරිහරණය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අමාත්‍යවරයාගේ හිටපු මාධ්‍ය ලේකම් මහේෂ් වික්‍රම රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉකුත් 09 වැනිදා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ අංක 582 වේරහැර පාර, බොරලැස්ගමුව පදිංචි මහේෂ් වික්‍රම නමැත්තාය. මෙම සිද්ධියට අදාළ නඩුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකරු නිතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම විණි.
මේ සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා සැකකාර මහේෂ් වික්‍රම යන අය අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත අයැදුම් පත්‍රයක් ද කැඳවනු ලැබිණි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සැකකරු රුපියල් ලක්ෂ පහක ණය සීමාවක් සහිත කාඩ් පත සඳහා ඔහුගේ පෞද්ගිලක දුරකතන අංකයක් සහ ඊමේල් අංකය ලබාදී තිබූ බවත් එම කාඩ් පත ඔහුගේ පුද්ගලික ගනු-දෙනු සඳහා යොදාගෙන ඇති බවත්ය. එම ණය පත සම්බන්ධයෙන් අදාළ ආයතනයෙන් ගිණුම් සාරාංශයක් අමාත්‍යවරයාට කිසිදු අවස්ථාවක ලැබී නොමැති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු පුද්ගලික රථවාහන ආයතනයකට රුපියල් ලක්ෂ දෙකක මුදලක් මෙම ණය කාඩ්පතෙන් ගෙවීම් සිදුකර ඇති බවත්, ඔහු රක්ෂණ නියෝජිතයකු වශයෙන් සිට වෛද්‍යවරයකු සඳහා ද අදාළ ණය පතෙන් ගෙවීම් සිදුකර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 389, 386 සහ 400 යන වගන්ති ප්‍රකාරව විශ්වාසය කඩ කර සාවද්‍ය පරිහරණය සිදුකර ඇතැයි සඳහන් කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ සැකකරු වරදක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව අධිකරණයට කරුණු සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
තමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි හිටපු මාධ්‍ය ලේකම් මහේෂ් වික්‍රම යන අය විසින් තම අනුදැනුමකින් සහ කිසිදු අවරසයකින් තොරව මෙම ණය කාඩ්පත පරිහරණය කරනු ලැබ ඇති බවට අංක 142, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ ලිපිනැති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. අක්‍රමිකතා සිද්ධීන් කිහිපයක් හේතුවෙන් තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිටි හිටපු මාධ්‍ය ලේකම්වරයාව සේවයෙන් ඉවත් කර ඇති බව පැමිණිලිකාර අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් දක්වා තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
රුපියල් ලක්ෂ පහක ණය සීමාවක් හිමිව තිබූ රාජ්‍ය බැංකුවකට අයත්
මෙම ණය කාඩ්පත අදාළ පුද්ගලයා අමාත්‍යවරයාගේ කිසිදු දැනුම් දීමක් හෝ
අවසරයකින් තොරව ලබාගෙන විශ්වාසය කඩ කර වංචා කර සාවද්‍ය පරිහරණය කර
ඇතැයි කරුණු ඉදිරිපත්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. සිද්ධියට අදාළ වැඩිදුර
මහේස්ත්‍රාත් පරීක්ෂණය සැප්තැම්බර් මස 27 වැනිදා තෙක් කල් තැබිණි.
(නිමන්ති රණසිංහ)
0 Comments