bangladesh-crisis

2022 ශ්‍රී ලංකාවේ ඇතිවූ අරගලය කොපි කරමින් බංග්ලාදේශයේ සිසු-ජනතා අරගලයකින් 2009 සිට බලයේ සිටි අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වී රටින් පළායන්නට අවස්ථාව ලබාදී ඇත.
ඇය ඉන්දියාවට හෙලිකොප්ටරයකතින් ගිය බවත් අනතුරුව එහි සිට වෙනත් රටකට යන්නට සූදානමින් සිටින බවත් වාර්තාවේ.
පෙලපාලිකරුවන් ඇයගේ නිල නිවස වැටලූ අවස්ථාවේ ඉල්ලා අස්වීමේ නිවේදනය ජනතාවගේ කණවැකුණ අතර එය
පුලුල්ව සැමරුම් කරන්නට පිරිස කටයුතු කර තිබුණි.
රජයේ දේපළ කොල්ලකෑම් රැසක් වාර්තාවී ඇති අතර මේ අතර ඩකාහිදී පුද්ගලයන් 20 දෙනෙකු පමණ අද දින පමණක් මියගොස් තිබේ.විරෝධතාකරුවෝ අධිවේගී මාර්ග 2ක් අල්ලා ගත්හ.
පොලිස් ගොඩනැගිලි ගිනි තබන්නටත් ෂීක් හසීනාගේ පියා හෙවත් බංග්ලාදේශ නිදහසේ නායකයා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ පිළිරුවක් විනාශ කරන්නටත් පිරිස් කටයුතු කර ඇත.
විරෝධතාකරුවන්  අගනුවර Dhanmondi ප්‍රදේශයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Asaduzzaman Khan ගේ නිවසද විනාශ කර ඇත.
අගමැති නිල නිවසට ඇතුළුවූ මිනිසුන් ෂෙයික් හසීනාගේ කාර්යාලයෙන් ගෘහ භාණ්ඩ රැගෙන යන ආකාරය වීඩියෝවල නිරූපණයවේ.



වෙනත් තැන් සැලකීමේදී නැගෙනහිර නගරයේ සිල්හෙට්හි, නියෝජ්ය  කොමසාරිස් කාර්යාලයක් සහ පොලිස් අධිකාරි කාර්යාලයක් ගිනි තබා ඇති බව වාර්තා වේ. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට ද ප්‍රහාර එල්ල වී ඇත.

මේ අතර රූපවාහිනී නිවේදනයකින් ජාතිය ඇමතූ හමුදා ප්‍රධානියා පැවසුවේ අන්තර්වාර රජයක් පිහිටුවන බවයි.
"අපි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවනවා, අපි දැන් රට භාර ගන්නවා. ඝාතනයට ලක්වූවන්ට එරෙහිව ක්‍රියාත්මකවී වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුවනවා" යනුවෙන් බංග්ලාදේශ හමුදා ප්‍රධානියා පැවසීය.
අන්තර්වාර රජය පිහිටුවන්නේ කවුරුන් මුල් කරගෙනද යන්න හමුදා ප්‍රධානී ජෙනරාල් වකර් උස් සාමාන් ප්‍රකාශ කළේ නැත.  
බංග්ලාදේශයේ නාමමාත්‍ර ජනපති ධූරයක් පවතින අතර ඔහු මෙබඳු ප්‍රශ්න හමුවේ සක්‍රීය වේ.
තමා ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් හමුවීමට යන බවත්, දවස අවසානයේදී “විසඳුමක්” ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හමුදා ප්‍රධානියා පැවසීය.

රැකියා සඳහා කෝටාවක් ලබාදීමේ අසාධාරණයක් මත පැනනැගි සිසු විරෝධතාව පසුව විකෘති වී හසීනාගේ රජයට එරෙහි කැරැල්ලක් ලෙස වෙනස් විය.ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ 2022 අරගලයට සමාන සැලසුමකින් සියල්ල ක්‍රියාත්මකවූ බවයි.මෙහිදී සිය ගණනක් මිනිසුන් ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලදී මිය ගියහ.
කෙසේ වෙතත් ඇඳිරි නීතිය මැද අද පැවති අරගලයේ ඇතැම් තැනකදී ජනතාව සමග පොලිසිය සහයෝගයෙන් කටයුතු කර තිබුණි.

බංගලිදේශයේ "ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම" සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව එක්සත් රාජධානියේ අගමැති ස්ටාර්මර්ගේ ප්‍රකාශකයෙක් පවසා තිබේ. නිල ප්‍රකාශකයා පවසන්නේ “මෑත සතිවල බංග්ලාදේශයේ අප දුටු ප්‍රචණ්ඩත්වය පිළිබඳව අගමැතිවරයා දැඩි ලෙස කණගාටු වන” බවයි.



බංග්ලාදේශයේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් Harsh Shringla සඳුදා පැවසුවේ ෂීක් හසීනාට එරෙහි ව්‍යාපාරය පිටුපස විදේශීය හස්තයක් ඇති බවයි. ඩකා හි සාමය යථා තත්ත්වයට පත් කිරීම ඉන්දියාවට අවශ්‍ය බවත් ඉන්දියාව ඉදිරියේදී බංග්ලාදේශයේ බලයේ සිටින්නේ කවුරුන් හෝ සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඔහු කියා ඇත.

හසීනා අද  අස්වී රටින් පලා ගියාය. ඇය ඉන්දියාව බලා හෙලිකොප්ටර යානයකින් පිටත් විය. වාර්තා වන අන්දමට ඇගේ සොහොයුරිය වන රෙහානා ද ඇය සමඟ සිටී. ඇය බෙංගාලය හරහා දිල්ලියට පැමිණ ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව යානය ගාසියාබාද් හි හින්ඩන් ගුවන් කඳවුරට ගොඩ බස්වා ඇත. ඉන් පසු ඇයට ලන්ඩන්, ෆින්ලන්තය හෝ වෙනත් රටකට යාමට සැලසුමක් ඇතැයි වාර්තාවේ. ඉන්දියාවේ ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ගාසියාබාද් හි හින්ඩන් ගුවන් කඳවුරේදී බංග්ලාදේශයේ හිටපු මහ ඇමති ෂීක් හසීනා හමුවූ බව මාධ්‍ය වාර්තා ‍තිබේ.හසීනා ඉන්දියාවට පැමිණ ඇත්තේ C-130 යානයකිනි.

මේ වන විට පුද්ගලයින් 300 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙයි. නිල සංඛ්‍යා ඉක්මවා විශාල පිරිසක් මියගොස් ඇති බවටද නොනිල වාර්තා තිබේ.  ඉන්දියාව බංග්ලාදේශයට යන සියලුම දුම්රිය අවලංගු කළේය. එයාර් ඉන්දියා ගුවන් සේවා ද අත්හිටුවා ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් අගමැති මෝදි හමුවී ඔහුට යාවත්කාලීනයක් ලබා දී ඇත. විපක්ෂ නායක රාහුල් ගාන්ධි ද විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ඇති අතර තත්වය සන්සුන් කිරීමට ඉන්දියාව මැදිහත්වන ආකාරයක් හඳුනාගන්නට ලැබේ.