bangladesh-political-crisis

අරගලයකින් රටේ නායකයා එළවා දැමීමෙන් පසු බංග්ලාදේශය පරිපාලනමය අනාථ බාවයට පත්ව ඇති බවත් රට මෙහෙයවන්නේ කවුද යන්න ගැන නිසි අවසන් නිගමනයකට කිසිවෙකු පැමිණ නැති බවත් වාර්තාවේ.
අරගලයේ කූඨාප්‍රාප්තියෙන් දිනකට පසු කුමක් සිදුවේදැයි බංග්ලාදේශ වැසියන් බලා සිටී. රටේ හමුදා ප්‍රධානියා පවසන්නේ අන්තර්වාර රජයක් පිහිටුවා නව මැතිවරණයක් කැඳවන බව වන නමුත් ඒ ගැන වැඩි පැහැදිලි කිරීමක් කිරීමට ඔහු අපොහොසත් විය.‍ මේ අතර සටන මෙහෙයවූ ශිෂ්‍ය නායකයින් පවසා ඇත්තේ හමුදාව ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බවයි.  ඔවුන් පවසන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත් කිරීමට අවශ්‍ය බවයි.
මුහම්මද් යුනුස් යනු ග්‍රාමීන් බැංකුව ආරම්භ කිරීම සහ ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පවල පුරෝගාමියා වෙනුවෙන් 2006 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ බංග්ලාදේශ සමාජ ව්‍යවසායකයෙකු, බැංකුකරුවෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සිවිල් සමාජ නායකයෙකි.


බංග්ලාදේශයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ෂීක් හසීනා වෙනුවට අගමැති ධුරයට පත් කළ හැක්කේ කාටද යන්න පිළිබඳව කිසිදු නමක් යෝජනා කර නැත.
අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ශිෂ්‍ය විරෝධතාකරුවන්ට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, නායකත්ව සංක්‍රාන්තිය සිදුවන අතරතුර සාමකාමීව සිටින ලෙස එහි නායිකා කලීඩා සියා ජනතාවගෙන් ඉල්ලා ඇති බවත් පමණි.

ෂීක් හසීනාගේ අවාමි ලීගය මතභේදාත්මක මැතිවරණ තුනක් හරහා බලයේ සිටි බැවින් වසර පහළොවකට වැඩි කාලයක් තිස්සේ ජනතාවගේ පිළිකුලට ලක්විය. මේ නිසා මෙම අර්බුද අවස්ථාවේ එම පක්ෂයේ කිසිදු නායකයෙකුට ජනතාවගෙන් ඉඩක් නැති අතර මේවනවිට ඔවුන් වැඩි දෙනෙකු ගෙවල් ගිනි තැබීම නිසා සැගවී හෝ රටින් පළාගොස් ඇත.
විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කිරීමේ වරදට ඔවුන් ජනතාවගේ අප්‍රසාදයට බඳුන්ව ඇත.
බංග්ලාදේශයේ මෙම පැරණිතම දේශපාලන පක්ෂයට මෙම ලේ වැගිරීම වැළැක්විය හැකිව තිබුණ නමුත් හසීනාගේ දරදඬු බව මේ විනාශය ගෙන ආ බව විචාරකයින්ගේ මතයයි.
 ඔවුන්ගේ බලයට තවදුරටත් මහජන සහයෝගය නොමැති අතර බංග්ලාදේශයෙන් පළා ගිය පළමු රාජ්‍ය නායිකාව බවට පත් වූ හසීනා සිය පියාගේ නම්බු නාමයද විනාශ කරගත් බවට අදහස් පළව තිබේ.
 හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොඩ බැස ඇති බව තහවුරුවූ නමුත් ඇය දැන් සිටින්නේ කොහිදැයි කිසිවෙකු නොදනී.

ඇය ඊළඟට පළායනු ඇත්තේ ලන්ඩනයට වියහැකි බවට අනුමානයක් පවතී. ඊට හේතුව හසීනාගේ ලේලිය වන ටියුලිප් සිද්දික් දැනට බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන බැවිනි.ඇයගේ සහයෙන් හසීනා එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

ෂෙයික් හසීනා සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට නව මුහුණවරක් දෙමිනි.
ඇගේ පියා 1971 දී පකිස්තානයෙන් රට නිදහස ලබා ගැනීමට නායකත්වය දුන් බංගලාදේශයේ "ජාතියේ පියා" වූ ජාතිකවාදී නායක ෂෙයික් මුජිබර් රහ්මාන් ය.
පසුව ඇය තම පියා අයත් වූ අවාමි ලීගයේ නායකත්වයට පත් වූ අතර ජෙනරාල් හුසේන් මුහම්මද් එර්ෂාඩ්ගේ හමුදා පාලන සමයේදී ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී වීදි විරෝධතා පැවැත්වීමට අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ අත්වැල් බැඳ ගත්තාය. ඇය ප්‍රථමයෙන් 1996 දීත්, පසුව 2009 දීත් බලය දිනා ගත්තාය.
කෙසේ වෙතත්, මෑත වසරවලදී ඇය අත්තනෝමතික බවට පත් වූ බවටත්, ඇගේ පාලනයට එරෙහි ඕනෑම විරෝධයකට දරදඩු ප්‍රතිපත්තිවල සිටි බවටත් ඇයට චෝදනා එල්ල විය. දේශපාලනික අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, අධිකරණයට පරිබාහිර ඝාතන සහ වෙනත් අපයෝජනයන් ඇගේ පාලනය යටතේ ඉහළ ගොස් තිබුණි.



විශාල ජනකායක් සඳුදා ඩකා හි හසීනාගේ නිල නිවසට කඩා වැදුණු අතර අගනුවර කොල්ලකෑම් සහ අවුල් සහගත තත්ත්වයක් ද ඇති විය.
මේවනවිට පොලිස් ස්ථාන රැසක් නැවත වැඩ ආරම්භ කරන්නට බැරි තරමට ගිනිගෙන විනාශවී ඇත. පාසල් හා විශ්ව විද්‍යාල විවෘත නමුත් අධ්‍යයන කටයුතු කිසිවක් සිදු නොවෙයි.

රටට කුමක් කරන්නේද පරිපාලනය නැවත පිහිටුවන්නේ කෙසේද යන්න තවම සාකච්ඡාවට ලක්වේ. බංග්ලාදේශයේ හමුදා ප්‍රධානී ජෙනරාල් වකර්-උස්-සාමාන්, දේශීය වේලාවෙන් දහවල් 12:00 ට ශිෂ්‍ය විරෝධතාකරුවන් හමුවීමට නියමිතය.
නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් එහි ප්‍රධාන උපදේශක ලෙස නව අන්තර්වාර රජයක් පිහිටුවීමට ඉල්ලා සිටින බංග්ලාදේශ ශිෂ්‍ය විරෝධතා සම්බන්ධීකාරකවරුන් හමුදා පාලනය පිළිනොගන්නා බව පවසමින් ෆේස්බුක් හි වීඩියෝවක් නිකුත් කර තිබේ.

“අපි නිර්දේශ කළ රජය හැර වෙනත් කිසිම රජයක් පිළිගනු නොලැබේ,” ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායකයෙකු වන නහිඩ් ඉස්ලාම් වීඩියෝවේ කියා සිටියේ යුනුස් මහතා එම භූමිකාව භාර ගැනීමට එකඟ වූ බවයි. "හමුදාවේ සහාය ඇති හෝ හමුදාවේ නායකත්වයෙන් යුත් කිසිම රජයක් අපි පිළිගන්නේ නැහැ."

84 හැවිරිදි යුනුස් මහතා 2006 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ග්‍රාමීන් බැංකුව ආරම්භ කිරීම සහ මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට උපකාර වූ ක්ෂුද්‍ර ණය මුලපිරීමේ පුරෝගාමිත්වය වෙනුවෙන් ය.
 බංග්ලාදේශ සමාජ ව්‍යවසායකයෙකු, බැංකුකරුවෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සිවිල් සමාජ නායකයෙකු වන ඔහු දේශපාලනය නොකළත් සමාජ වැඩ නිසා ප්‍රසිද්ධ චරිතයක් විය.