ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශයකට අනුව බදු නොගෙවූ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් 900ක් පමණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්හිටුවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ තෙවන වාර්තාව ඊයේ (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එමෙන්ම මෙරටට රත්රන් ගෙන්වීමේදී
ව්‍යාපාරිකයන් 06දෙනෙකුගෙන් දඩ මුදල් ලෙස රුපියල් බිලියන 1.2ක් රේගු දෙපාර්තමේන්තුව අය කරගෙන ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.“අපි මේ පළවෙනි මාස 06 ඇතුළත රාජ්‍ය ආදායම් පිළිබඳ ඉලක්ක සලකා බැලුවා.
පසුගිය වසර තුළ රුපියල් බිලියන 978ක් බදු අය නොකර බදු සහන ලබා දීම නිසා අහිමි වුණා විතරක් නෙවෙයි. තවත් රුපියල් ට්‍රිලියනයකට වැඩි මුදලක් බදු අය කරගැනීමට නොහැකිව තිබුණා. ඒ අනුව අප විසින් කරන ලද නියෝගයකට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝග 900ක් පමණ නිකුත් කරලා තියෙනවා කියලා වාර්තා කරලා තිබෙනවා.
ඒ වගේම මේ රටේ ප්‍රශ්නයක් මතු වුණා මේ රත්රන් ගෙන ඒම ගැන. රේගු දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කටයුතු කරලා ව්‍යාපාරිකයන් 10දෙනෙකුගෙන්, 06දෙනෙකුගේ පමණ රත්රන් ආනයනය ගැන සිදු කළ ඉන්වොයිස් පරික්ෂාවේදී ලබා ගෙන තිබෙන දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.2ක්.
තව බදු මුදල් අය කරගන්න තියෙනවා. ඒවගේම දඩ මුදල් අය කරගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිර්ම නිසා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ රුපියල් බිලියන 10ක පමණ වැඩි මුදලක් එකතු කර ගැනීමට සමත් වෙලා තිබෙන බව පෙනී ගොස් තිබෙනවා.ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව ගැන කියනවා නම්, සුරාබදු දෙපාර්තමේන්තුවේ අය නොකර ගන්න බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 7.9ක්. ඒකෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 3.447ක් , ඒ වගේම වයඹ ඩිස්ටිලර්ස් රෝයල් සිලෝන් සමාගම රුපියල් මිලියන 560ක්,
වයඹ ස්ප්‍රීතු රුපියල් මිලියන 281ක්, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් රුපියල් බිලියන 1.148ක්, මැකලම් බෘවර්ස් මිලියන 619ක්, කළුතර සමුපකාර ඩිස්ටිලර්ස් රුපියල් මිලියන 17ක් හැටියට තියෙනවා. ඒ නිසා අපි මේ අයට නිරන්තරයෙන්ම දැනුම් දුන්නත් මේ අයගේ බලපත්‍ර නතර කරලා මේ බදු මුදල් අය කරගැනීමට ක්‍රියා කරන්න කියලා. නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව කියනවා මුදල් අමාත්‍යාංශයෙන් නිශ්චිත නියෝගයක් පැනවිලා නැති නිසා ඒ කටයුත්ත කරන්න බැරි බව. නමුත් අපි දන්නවා ගිය වසරේ නොවැම්බර් මාසයේ මේ කටයුත්ත තාවකාලිකව කළාම බදු මුදල් එකතු වීම විධිමත් වුණා."
දිනේෂ් සමරකෝන්
0 Comments