bank-manager-dehiowita-fake

කිසියම් පුද්ගලයකු බැංකුවක කළමනාකරුවකු ලෙස පෙනී සිටිමින් දෙහිඕවිට ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගේ ගිණුමේ ඇති මුදල් වෙනත් ගිණුමකට මාරු කළ යුතු බව පවසමින් එහි මුදල් සොරකම් කර ඇතැයි දෙහිඕවිට පොලිසිය පවසයි.හිමිනම කළ පැමිණිල්ලකට අනුව දෙහිඕවිට පොලිසිය සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කර ඇත.




පුද්ගලයකු එම හිමි නමගේ බැංකු ගිණුමට අදාළ බැංකුවේ කළමනාකරු බව පවසමින් හිමි නමගේ ජංගම දුරකතනයට කතා කර ඇතැයි කියති. එහිදී එම හිමිනමට අයත් බැංකු ගිණුමේ ඇති මුදල් වෙනත් ගිණුමකට මාරු කළ යුතු බව පවසා ඇති අතර එම පුද්ගලයා දුන් ගිණුම් අංකයට හිමිනම ගිණුම පවත්වාගෙන යන බැංකුවටම ගොස් සැකකරු ලබාදුන් ගිණුම් අංකයට මුදල් බැර කර ඇති බව අනාවරණය වී ඇත.


දැනට සිදු කළ විමර්ශනවලට අනුව මාවනැල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමකට මුදල් බැර වී ඇති බව පොලිසිය පවසයි.බැංකු ගිණුම් විස්තර ලබාගැනීම සදහා අධිකරණය නියෝගයක් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.කෑගල්ල දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි දෙහිඕවිට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
ගයාන් සූරියආරච්චි