Sri-Lankas-attention-is-on-Tharushi-who-is-competing-in-the-Paris-Olympics-today

 ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරී 21 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්න ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා මීටර් 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයට අද (2දා) සභභාගිවීමට නියමිතය. ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශවී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විතය.එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.15 ට ( ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 7.45 ) ආරම්භ වේ. තරුෂි එහිදී හය වැනි මූලික වටයේ තරගයට සහභාගි වේ. මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාව 48 වැනි ස්ථානයේ පසු වේ.පැර්ස් ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් අතරින් සුදුසුකම් නොලත් පංගු ක්‍රමය ඔස්සේ මීටර් 800 ( කාන්තා) ඉසව්වට ක්‍රීඩිකාවන් තිදෙනකු තෝරා ගැනේ.


ඒ අනුව විනාඩි 1 තත්පර 59.30 කට කෙළින්ම නිර්දේශ තහවුරු කර ගත් ක්‍රීඩිකාවන් 33 දෙනෙකු හැරෙන්නට තරුෂි ඇතුළු අද තරග වදින ඉතිරි ක්‍රීඩිකාවන් 14 දෙනෙක් ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා සිටිති.තරුෂි තරග වදින සිව් වැනි මූලික වටයේ තරගකාරියන් දෙස බැලීමේදී බහමාස් ක්‍රීඩිකා 33 හැවිරිදි ජුලී ටොපින් නතායා ඉදිරියෙන්ම පසු වන්නේ විනාඩි 1.තත්පර 55.96 ක ඇගේ මෙතෙක් ඉසව්වේ හොදම නිමි කාලය වාර්තා කරමිනි.ඇය පැරිස් ඔලිම්පික් තරග වදින්නේ ලෝක ශ්‍රේණිගත 6 වැනි ස්ථානයේ පසු වෙමිනි.


ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි 2023 බැංකොක් ආසියානු ශූරතා තරගාවලියේදී විනාඩි 2 තත්පර 00.66 කට නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමේදී පළ කළ නිමි කාලය මෙතෙක් ඉසව්වේ ඇගේ හොඳම කාලය ලෙසත් වාර්තාවී තිබේ.ප

ැරිස් නුවරට පැමිණීමෙන් පසුව සිය පෙර පුහුණුවීම් අවසන් කළ තරුෂි කරුණාරත්න පැවැසුවේ තමා අද තරග වැදීමට වඩාත් හොඳ සූදානමකින් පසු වන බවයි.

"පළමුව ඉසව්වේ මගේ කාලය අලුත් කර ගැනීමටත් දෙවැනුව දෙවැනි වටයට පිවිසීමටත් මම අදිටන් කර ගෙන සිටිනවා "යයිද ඇය ඊයේ පැරිස් නුවරදී පැවැසුවාය.මෙම ඉසව්වේ මූලික වට තරග හයේදී තෙවැනි ස්ථාන දක්වා පැමිණෙන ක්‍රීඩිකාවන් 18 දෙනෙකු හෙට (3) පැවැත්වෙන එහි අවසන් පූර්ව වටයට නිර්දේශ කර ගැනේ. අවසන් පූර්ව හා අවසන්  තරගය අගෝස්තු 4 හා 5 යන දිනවලදී පැවැත්වේ.


පැර්ස් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ ආරම්භ වීමෙන් පසුව පැවැති පළමු ඉසව්ව වන ඇවිදීම (කිලෝමීටර් 20) කාන්තා හා පිරිමි ඉසව්හි රන් පදක්කම් පිළිවෙලින් චීනයේ යාංග් ජියාග්(විනාඩ් පැය 1විනාඩි 25 තත්පර 54) හා එක්වදෝරයේ බ්‍රියන් පින්ටාඩෝ (පැය 1 විනාඩ් 18 තත්පර 54) විසින් දිනා ගන්නා ලදී.ඒ අනුව ඊයේ වන විට පදක්කම් සටහනේ රන් පදක්කම් 11 ක් දිනා පෙරමුණ ගෙන සිටි චීනය පැරිස් ඔලිම්පික් පළමු මලල ක්‍රීඩා රන් (කාන්තා) පදක්කමද දිනා ගැනීමට සමත් විය.ඒ වන විට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව් වෙතින් ලෝකඩ පදක්කම් තුනක් හිමි කර ගනිමින් පදක්කම් සටහනේ 30 වැනි ස්ථානයට පත්ව සිටියේය.