දේශපාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයන් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත්වීම විශාල ප්‍රශ්නයක් බවත් අනවශ්‍ය ලෙස ඡන්ද පත්‍රිකාව දික්වීමෙන් නියම සුදුස්සා තෝරා ගැනීමේදී ඡන්දදායකයන් අපහසුතාවට පත්වීමට ඉඩ තිබෙන බවත් දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියෝ පැවසූහ.දූෂණය නවතමු මව්බිම ගොඩනගමු' සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සහ හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා මල්වතු මහා විහාරයට ඊයේ (07) ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී අනුනාහිමියෝ ඒ බව අවධාරණය කර සිටියහ.


එහිදී අනුනාහිමියන් සඳහන් කළේ මේ වන විට ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව 18 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, ඡන්ද 1,000ක් හෝ ගැනීමට නොහැකි පුද්ගලයන් මුදල් ඇප තැන්පත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයක් බවත්ය.ඒ හේතුවෙන් ඡන්ද විමසීමට අමතරව වැය කිරීමට සිදුවන කෝටි ගණනක මුදල් ජනතාවගේ මුදල් බව අපේක්ෂකයන් තේරුම් ගත යුතුව තිබෙන බවද අනුනාහිමියෝ කීහ.




ඇතැම් අප්‍රසිද්ධ පුද්ගලයන් තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීමට ඇති කෑදරකම නිසා ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් ඉදිරියේදී තවත් පුද්ගලයන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් ඡන්ද පත්‍රිකාව තව තවත් දිගුකිරීමට ඉඩ තිබෙන බවද අනුනාහිමියෝ පැවසූහ. මහපතරංග ජාතකය මෙන් ඡන්ද පත්‍රිකාව දිගුවීමෙන් මහජන මුදල් මෙන්ම නිලධාරීන්ගේ කාලය, ශ්‍රමයද අමතරව වැය කිරීමට සිදුවන බවද අනුනාහිමියෝ පැවසූහ.


ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි හිමිනමක් ඒ සඳහා මුදල් ගෙන ඒමට අමතක වූ බව පවසා ආපසු හැරී ගොස් නැවත වෙනත් දිනයක පැමිණ ඇප මුදල් තැන්පත් කළ බවත්, ජනාධිපති ධූරයට පත්වීමේ අපේක්ෂාවෙන් වැඩ කරන අයගේ මොළය වැඩ කරන්නේ මේ ආකාරයට නම් විශාල ගැටලුවක් බවත් අනුනාහිමියෝ පැවසූහ.

ඡන්දදායකයන් ඇතැම් අපේක්ෂකයන් පසුපස තවලම පසුපස යන ගොනුන් සේ ගමන් කරන බවත්, පාර දන්න ගොනා පාර දිගේ ගමන් කරන විට අනෙක් ගොනුන් යන්නං වාලේ ගමන් කරන බවත්

අනුනාහිමියෝ සඳහන් කළහ.විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට බොහෝ දෙනකු පැවසුවද බලයට පත්වූ පසු එය අමතක කළ බවත් පෘථග්ජන මිනිසුන් බලය අත්හැරීමට කැමති නොමැති බවත් කී අනුනාහිමියෝ තව තවත් බදා ගැනීමට උනන්දුවීම හේතුවෙන් වයස අවුරුදු 80-90 වුවද තනතුරු අතහැරීමට කැමැත්තක් නොමැති බව පෙනෙන්නට තිබෙන බවද සඳහන් කළහ. ඒ හේතුවෙන් ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගියද මන්ත්‍රී කෙනකු හෝ ඇමැති කෙනකු වී හෝ හිඳීමට උත්සාහ කරන බවත් එම කෑදරකම කුමක්ද කියා තේරුම් ගැනීමට නොහැකි බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.
( ෂේන් සෙනෙවිරත්න)