අරගලයට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිටින බව ත් ජනාධිපතිවරයා ද අරගලයේ නිර්මාතෘවරයෙක් බව ත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.



කොළඹ මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල වෙත ඊයේ (අගෝ. 19) පස්වරුවේ පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක ම බලාපොරොත්තුව මේ රටේ පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම බව ය.

”ප්‍රතිපත්තිමය කාරණා මත මැතිවරණයට ඉදිරිපත් වීමක් අපි දකින්නේ නැහැ. එක්කෝ පිල් මාරු වෙනවා. එක්කෝ පෞද්ගලික කාරණා මත දේශපාලනය කරනවා. පැහැදිලිව ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ එක ම බලාපොරොත්තුව මේ රටේ පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන එක.”



“සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියපු තරුණයෝ තාම පාරේ ඉන්නවා. හැබැයි ඒක පාවිච්චි කරලා දේශපාලන වාසි ලබා ගන්න පක්ෂ එක්ක ගනුදෙනු කරපු අය තමයි පක්ෂවලට බෙදිලා තියෙන්නේ. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාර්ය මණ්ඩලයෙනුත් ඒක පැහැදිලිව ම ඔප්පු වෙනවා. අරගලයේ හිටපු භාගයක් එතුමාගේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඉතින් එතුමත් අරගලයේ නිර්මාතෘවරයෙක්. ඉතින් ඒ හින්දා අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන වැඩක් වෙන්නේ නෑ. බුද්ධිමත්ව, අනාගතය පිළිබඳව සැබෑ වැඩපිළිවෙලක් එක්ක අපි තීන්දු තීරණ ගමු.”