පෞද්ගලික සරසවියක ජාල ඉංජිනේරු පාඨමාලාවක් හදාරන 19 හැවිරිදි සිසුවකු හා 44 හැවිරිදි භෞත චිකිත්සකවරයකු අතර නවාතැන්පොළක දී පෙරේදා 25 රාත්‍රියේ දී ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඇලුමිනියම් ජෝගුවකින් හිසට පහරදීමෙන් භෞත චිකිත්සකවරයා මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වන් සන්තාර් නමැති පුද්ගලයකු බවත්, ඔහු පදිංචි ප්‍රදේශයක් නිශ්චිතව අනාවරණය නොවන බවත් පොලිසිය පවසයි.පහරදීම සම්බන්ධයෙන් සැකකාර ඉංජිනේරු සිසුවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා සහ සැකකරු මරදාන දේවානම්පියතිස්ස මාවතේ තෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ නවාතැන් ගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.සැකකාර සිසුවා පෙරේදා (25) රාත්‍රී විදුලි බල්බය දල්වාගෙන පාඩම් කටයුතුවල නිරතව සිට ඇති අතර බල්බය නිවා දමන ලෙස මියගිය පුද්ගලයා සිසුවාට පවසා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදු වී ඇති බවත් පොලිසිය කියයි.
එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව සැකකාර සිසුවා ඇලුමිනියම් ජෝගුවකින් මියගිය පුද්ගලයාගේ හිසට පහරදීමෙන් බරපතළ තුවාල ලබා ඇති අතර කාමරයේ රැඳී සිටින සෙසු පුද්ගලයන් දෙදෙනා ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.මරදාන පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉෂාන්ත කුමාර ඇපල කොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
0 Comments