Kerala-Landslide-The-dead-body-of-the-woman-executive-who-gave-the-first-information-is-also-found

ජුලි 30 වැනි දින අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාද් ප්‍රාන්තයේ මුන්ඩගයි, සුරල්මලෙයි සහ මෙප්පාඩි යන ප්‍රදේශවල නායයෑම් සිදුවී ජීවිත 350කට අධික සංඛ්‍යාවක් අහිමි විය. දින 6කට පසුවත් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන අතර  මුදාගැනීමේ කණ්ඩායම සුරල්මලෙයි ප්‍රදේශයෙන් නීතු ජෝජෝ නම් කාන්තාවගේ සිරුර ගොඩගනු ලැබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
පස් ගොඩකට යටවී මියගිය නීතු ජොජෝ යනු මෙම නායයාම ගැන පළමු තොරතුර සැපයූ කාන්තාවයි.
 ගලවා ගන්නා කන්ඩායම් එම පෙදෙසට ගමන් කර තිබුනේ ඇගේ උපදෙස් අනුවයි.

නීතු ජොජෝ වයනාඩ් වෛද්‍ය විද්‍යා ආයතනයේ (WIMS) විධායක නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි අයෙකි.

ඇය සිය 5 හැවිරිදි පුතා සහ සැමියා සමඟ සුරල්මලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටියාය.

නාය ගිය දිනයේ නීතු තමන් සේවය කළ සමාගමට දුරකථනයෙන් පවසා සිටියේ මධ්‍යම රාත්‍රියේ තම නිවස පිහිටි පෙදෙසට ගංවතුර ගලන්නට පටන්ගෙන ඇති බවත් ගමම යටවී ඇති බවත් පිරිස් බේරා දෙන ලෙසත්ය. සමාගම නාය යෑමේ තොරතුරු ගලවා ගත් පිරිස් වෙත යවා ඇත්තේ ඇය එවූ පණිවිඩය කොපි කරමිනි.

නමුත් අවාසනාවන්ත ලෙස නීතු ජෝජෝ නායයාමෙන් මිය ගියේ ඇගේ පවුලේ අය දිවි බේරාගන්නට පිටත්කර තවදුරටත් අවට සිටි අය වෙනුවෙන් වෙලාව ගත කළ නිසාය. ඇගේ සිරුර දින 5කට පසු සාලියර් ප්‍රදේශයේ ගලවා ගැනීමේ කණ්ඩායම විසින් ඊයේ ගොඩගනු ලැබු අතර නීතුගේ ඥාතීන් ඇයව හඳුනා ගත්තේ ඇගේ සිරුරේ පැළඳ සිටි ආභරණවලිනි.

කෙසේ නමුත් නාය යෑමෙන් නීතුගේ සැමියා සහ අවුරුදු 5ක පුතු දිවි ගලවා ගත්හ. ගොඩගත් නීතුගේ සිරුර රෝහල්ගතවූ ඇගේ සැමියාට භාරදුන් අතර නීතු ජොජෝගේ දේහය සුරල්මලෙයි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ආදාහනය කෙරිණි. වයනාඩ් ගැන මුලින්ම වාර්තා කළ නීතු ජොජෝගේ මරණය කම්පනයක් ඇති කර තිබුණි.