In-hospital-deaths-due-to-acute-respiratory-infections-and-pneumonia-are-on-the-rise

 නිධන්ගත ශ්වසන රෝග සහ නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මෙරට රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ගත වූ දශකය තුළ සමානුපාතික මරණ දත්ත සංසන්දනය කිරීමේදී මෙම අනාවරණය සිදුව ඇති බවයි.එම අමාත්‍යාංශයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට ශ්වසන රෝග ප්‍රධාන වශයෙන් බලපානු ලබන අතර, නිධන්ගත ශ්වසන රෝග සහ නියුමෝනියා රෝග තත්ත්වයන් හේතුවෙන් 2017 වර්ෂය තුළ මෙරට රෝහල් මරණවලින් වැඩිම සංඛ්‍යාවක් එනම් 18%ක් සිදුව ඇත.නිධන්ගත ශ්වසන රෝග අතර, ඇදුම සහ නිධන්ගත බාධාකාරී පෙණහලු රෝග මරණ වැඩිම ප්‍රමාණක් ඇති කරන ප්‍රධාන රෝග වේ.



ළමා කාලයේ හුස්ම හිරවී දරුවන්ම පාසලට නොපැමිණීමට ප්‍රධාන හේතුවක් වන අතර, වැඩිහිටියන් තුළ ඇදුම සහ නිධන්ගත බාධාකාරී පෙණහලු රෝග පිළිවෙළින් 11%ක් සහ10.5%ක ඉහළ ව්‍යාප්තියක් පවතී. වාතයේ ගුණාත්මකභාවය පෙණහලු පිළිකා ඇතුළු බොහෝ ශ්වසන රෝග සඳහා ප්‍රබලව බලපානු ලබන අතර, මුළුතැන්ගේ දුමට නිරාවරණය වන ග්‍රාමීය ප්‍රජාවන්ගේ දුම් නොබොන කාන්තාවන් අතර ප්‍රමාද වී ඇති වන හුස්ම හිරවීම බහුලව දක්නට ලැබෙන බව නිරීක්ෂණය වී තිබේ. මේ අතර ශ්වසන සෞඛ්‍ය පිළිබඳ ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම - 2024 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ මේ වන විට පැවැත්වේ.



ඒ අනුව එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ මෑත වසර කිහිපය තුළ ශ්වසන පද්ධතිය ආශ්‍රික රෝගවල ක්‍රමික වර්ධනයක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන බවයි. නාගර්කරණයේ වේගවත් වර්ධනය, වායු දූෂණය, දේශගුණික වෙනස් වීම් මේ ශ්වසන රෝග සඳහා බලපානු ලබන බවත් ජනතාව අතර විද්‍යාත්මක දැනුමක් නොමැති වීම, අඩු අධ්‍යාපනය, දිළිඳුකම යන කරුණු ඊට හේතු වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, කුඩා සංවෘත ඉඩ ප්‍රමාණයක ආහාර පිසීම, විෂ සහිත ඉන්ධන භාවිතය ශ්‍රී ලංකාව තුළ මෙම රෝග අවදානම සඳහා තවත් බලපාන සාධක වන බවත් සම්ප්‍රදායික ආහාර පිසීමේ ක්‍රමවලින් ඉවත්ව මෙම නාගර්කරණය තුළ භාවිත කරන ක්‍රමවේද මෙම රෝගවලට බලපාන අතර, දරුවන් හා වැඩිහිටි ප්‍රජාව මෙම රෝගවලට මුහුණ දෙන අවදානම් කාණ්ඩ බවද පෙන්වා දුන්නේය.



ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ශ්වසන රෝග ආශ්‍රිත රෝහල්ගතවීම් ඉහළ ගොස් ඇති බවත් පිළිකා රෝග බෝ නොවන රෝග බොහෝ සෙයින් මෙරට තුළ වර්ධනය වෙමින් පවතින බවත් එසේම ප්‍රජාවෙන් 89%ක් බෝ නොවන රෝග අවදානමට මුහුණ දී සිටින බවත්ය.ශ්වසන සෞඛ්‍යය පිළිබඳ ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකයේ වාර්ෂික විද්‍යාත්මක රැස්වීම පෙරේදා (27දා) සිට අද (29දා) දක්වා පැවැත්වෙන පර්යේෂණ ඒකකය 2016 වසරේ ආරම්භයේ සිට තවදුරටත් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මෙරට තුළ සමුළුවක් කැඳවූ පළමු අවස්ථාව මෙය වේ.ගෝලීය වශයෙන් සිදුවන මරණ පහෙන් එකකට ශ්වසන තත්ත්වයන් වගකිව යුතු වන අතර, මේ සතියේ ලොව පුරා සිටින ශ්වසන සෞඛ්‍ය විශේෂඥයන් කොළඹට රැස්වී රට හරහා සහයෝගීතාවයෙන් කටයුතු කිර්මට සහ ආසියානු කලාපයේ ශ්වසන රෝග බර අඩු කිරීම සඳහා සිදු කරන පරේශ්ෂණවල ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
නිදර්ශනි වික්‍රමසිංහ