ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව යනු මෙරට දේශපාලනය තුළ සුවිශේෂි දේශපාලන පක්ෂයකි. එම පක්ෂය පිහිටවනු ලැබුවේ 2016 වසරේ නොවැම්බර් 01 වැනිදාය. ඉන් පසු පැමිණි පළමු මැතිවරණය වූයේ 2018 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණය වේ. යහපාලන ආණ්ඩුවේ සියලු බල අභිබවා රට තුළ ඇති පළාත් පාලන ආයතන 917න් සාතිශය බහුතරයක බලය අත මිටි මොළවා ගැනීමට පොදු ජන පෙරමුණ සමත් වූයේ ප්‍රතිවාදීන්ගේ නළල රැලි ගන්වමිනි.


පොහොට්ටුවේ ජයග්‍රහණය ප්‍රතිශතයක් වශයෙන් 71කි. වසර එක හමාරක් හෝ නොමැති ළදරු පක්ෂයක් ලෙස පොහොට්ටුව අත්පත් කර කර ගත් එම ජයග්‍රහණය ඉදිරි ජයග්‍රහණ පොකුරක ආරම්භය විය.2019 ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූයේ ප්‍රාදේශීය සභාවක් සභාවක් හෝ නියෝජනය කර නොතිබුණු ගෝඨාභය රාජපක්ෂය.ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද ජයග්‍රහණයේ දී අනුපමේය මෙහෙවරක් කරමින් ජන ප්‍රසාදය දිනාගෙන සිටියේය. යුද ජයග්‍රහණයෙන් පසුව නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්කරවයා ලෙස කොළඹ නගරය අලංකාර කරමින් ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට සමත්ව සිටි අතර මහින්ද රාජපක්ෂ

ජනාධිපතිවරයාගේ කනිටු සොහොයුරා වීම ජයග්‍රහණයට බලපාන ප්‍රධානම සාධකය විය.


ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 69ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ ඊළඟට එළැඹීමට නියමිත මහ මැතිවරණයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය පදනම පදනම සකස් කර ගත්තේය. මැතිවරණ පොර පිටියේ හාස්කම් පාමින් පෙරට පැමිණි පොදුජන පෙරමුණට මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලැබුණේය. ජනාධිපති මල්ලී ඉදිරිපිට මහින්ද රාජපක්ෂ අයියා අග්‍රාමාත්‍යාවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.


පොදුජන පෙරමුණත් එම ආණ්ඩුවත් සීගිරි ගල සේම යැයි කීමට කිසිදු බාධාවක් තිබුණේ නැත. එම පක්ෂයත් එම ආණ්ඩුවත් එතරම්ම බලවත් විය.එතරම්ම ඔදවත්ව තෙදවත්ත බලවත්ව තිබූ පොහොට්ටුවේ පෙති ඉතා වේගයෙන් ගැලවෙමින් තිබේ. පොහොට්ටුවට සිදු වූයේ කුමක්ද?මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනගේ සොහොයුරා ගීතාංජන ගුණවර්ධනට අයත් නිවෙසක් නුගේගොඩ විය. මෙම නිවෙසට මහින්ද ආණ්ඩුවේ සිටි ප්‍රබලයෝ හතර දෙනෙක් රැස් වූහ. ඒ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිලය. බොහෝ දේශපාලන විචාරකයන්ට අනුව මහින්ද රාජපක්ෂගේ පරාජය වැඩියෙන්ම බලපෑවේ ඔවුන්ටය. එම විචාරකයන්ට අනුව මහින්ද රාජපක්ෂ පරාජයත් සමඟ දිනේෂ් වාසු විමල් හා ගම්මන්පිල දේශපාලන අනාථයෝ බවට පත්ව සිටිති.


සිව් දෙනාගේ මාතෘකාව වූයේ දැන් කුමක් කළ යුතුද? යන්නය.  මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබාගනිමින් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියේය. එය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාර්ථක වෙමින් පැවතිණි.

මහින්ද ජනාධිපතිතුමාට මිනිස්සු ආදරෙයි රට නිදහස් කරලා දුන්න නායකයා ලෙස නැවත සටනට කැඳවන්න ඕනෑ. ඒකට වැඩපිළිවෙළක් හදන්න ඕනෑ.


හතර දෙනාම එක් සත් ව එක්සිත්ව එළැඹි නිගමනය වූයේ එයයි.“ මහින්ද සමඟ නැගිටිමු '' රැලි මාලාව ආරම්භ වූයේ එසේය. එහි පළමු වැන්න 2015 වසරේ පෙබරවාරි 28 වැනිදා නුගේගොඩ පැවැතියේය. එම රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමබන්ධයක් නොවීය.එහෙත් එවකට බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි ප්‍රසන්න රණතුංග සෘජුවම මෙම ප්‍රයත්නයට සහයෝගය දක්වා සිටියේය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල බලපෑමක් එල්ල කළේය. නුගේගොඩ රැලියට වාර්තාගත මහජන ගඟක ගලා ආවේය. එය ධෛර්ය උපදවන සුළු ජන ගඟක් විය. රැලිය අතරමග දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයකු වූ කුමාර වෙල්ගම දෙව් දි කකා වට ගොඩ විය. විදේශගතව සිටි හෙයින් ප්‍රසන්න රණතුංගට එයට සහභාගි වීමට නොහැකි විය.


රැලිය හිතුවාටත් වඩා සාර්ථක විය. ඔය අතරවාරයේ දී විමල් වීරවංශගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබිණි. එය ඒවා තිබුණේ ඇමරිකාවේ සිටි බැසිල්ය. ‘ග්‍රේට් වර්ක්’ යනුවෙන් එහි සඳහන් විය.“ මහින්ද සමඟ නැගිටිමු'' රැලි මාලාව මහනුවරට යන විට මාතරට යනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවදුරටත් එයට සහාය නොදී සිටීමට නොහැකිවිය. ඒ අනුව ඔවුහු එම වේදිකාවට ගොඩ ආහ. එම රැලි මාලාව සුළඟක් සේ හමා යන්නට විය. එහෙයින්ම එය ‘මහින්ද සුළඟ' නමින් හැඳින්විණි.


මෙම කාලය අතරතුර බැසිල් රාජපක්ෂ මෙරට පැමිණි අතර ගුවන් තොටුපොළේදීම ඔහු අත්අඩංගුවට පත් විය.

බැසිල් සතුවත් විශාල පිරිසක් සිටියහ. ඒ පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා පළාත් පාලන නියෝජිතයෝය. මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළාත් පාලන ආයතන විසුරුවා තිබූ හෙයින් ඔවුහු ද ආගිය අතක් නොමැති තත්වයට පත්ව සිටියහ. ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිරවන්නේ ද නැත. එජාපයට හෝ වෙනත් පක්ෂයකට යාමට සිත ඉඩ දෙන්නේද නැත. ඔවුන් බලා සිටියේ බැසිල් රාජපක්ෂගෙන් සංඥාවක් ලැබෙන තුරුය.




ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට යහපාලන ආණ්ඩුවට එරෙහි විරෝධය ගිණියම් කරමින් තිබිණි. ඔවුහු නුවර සිට කොළඹට පා ගමනින් ආහ. නාමල් රාජපක්ෂ රැයක් කොළඹ නගරය අත්පත් කර ගැනීමට සමත් විය.එය අතරවාරයේ දී එක්වරම ඡාර්‍යාරූපයක් ප්‍රවෘත්තියක් පළ විය. එම ඡායාරූපයේ මහාචාර්ය ජී.එල්. පීරිස් හා නීතිඥ සාගර කාරියවසම් සිටියහ. ප්‍රවෘත්තියෙන් කියැවුණේ මහාචාර්ය ජී.එල්. පිරිගේ සභාපතිත්වයෙන් නව දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමින් ලියාපදිංචි කර ඇති බවය. පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් බවද කියැවිණි. ඒක බැසිල්ගේ පක්ෂය කවුරුත් එසේ කීහ. එහෙත් ඒ බව තහවුරු කර ගැනීමට මගක් නොවීය. ඒ වන විට මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවීය. සාගර කාරියවසම් තිරය පිටුපස සිටියෙක් විය. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලට බැසිල් සම්බන්ධ කර නොගැනීමට එම මන්ත්‍රීවරුන් තීරණය කර තිබිණි. පරාජයේ වගකීම බාර ගනිමින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණා. මීට පෙර එහෙම අවස්ථාවක් දැකලා තියෙනවද? ඒ ආදර්ශය මේ දේශපාලනයට මුලින්ම දුන්නේ මම, බැසිල් කීවේය.


මම ආපහු දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතුවලට විතරක් සම්බන්ධ වෙනවා. ඔයා පුළුවන් නම් ඒ මැසේජ් එක ඔය මන්ත්‍රීවරුන්ට දෙන්න. බැසිල් ඉල්ලීමක් ද කළේය.ජනාධිපතිතුමනි බැසිල් ඇමතිතුමා ආවත් එතුමව දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගන්න එපා. විමල්ගේ හා ගම්මන්පිලගේ ඉල්ලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුමැතිය හිමි වූ බව ද වාර්තා විය.

(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)