ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රිත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයකු රටට අවශ්‍යය යන්න සිය දැඩි විශ්වාසය බව කතෝලික රදගුරු සමුළුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.බලයේ සිටින්නවුන් විසින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට උත්සාහ දරන අයුරු දැක ඇති බැවින් දූෂිත පුද්ගලයන් ආරක්ෂා කරන සහ දූෂිතයන්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කරයි.එළැඹෙන ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති හැරල්ඩ් ඇන්තනි සහ මහලේකම් ඇන්තනී ජයකොඩි යන රදගුරු හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.




ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සාමාජිකයින් වන අපි, ශ්‍රී ලාංකීය ඡන්දදායකයින්ගේ පරිණත බව සහ දේහය පිළිබඳ ඔවුන්ගේ අවංක සැලකිල්ල ද උරගා බැලෙන, 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත, ජනාධිපතිවරණයට පෙර, කතෝලික සැදැහැවතුන් සහ සාමයට ලැදි සහ දේශප්‍රේමී පුරවැසියන් ඇමතීමට අදහස් කරමු. පළමුවෙන්ම, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රිත්වයෙහි ස්වාධීන්තවය ආරක්ෂා කරන නායකයකු රටට අවශ්‍ය යන්න අපගේ දැඩි විශ්වාසය වේ. ඇත්ත වශයෙන්ම, බලයේ සිටින්නවුන් විසින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට උත්සාහ දරන අයුරු අපි දැක ඇත්තෙමු. එහෙයින්, දූෂිත පුද්ගලයන් ආරක්ෂා කරන සහ දූෂිතයන්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත්ය.




රටේ සම්පත් කොල්ලකෑම්, දේශපාලන අරමුණු පෙරදැරිව කරන ලද පැහැර ගැනීම්, පුද්ගල අතුරුදන් කිරීම සහ ඝාතන, උතුරේ සහ නැගෙනහිර දික්ගැස්සුන යුද්ධයේ දීද, දකුණේ ඇතිවූ ජනතා නොසන්සුන්තාව අවස්ථාවේදී ද සිදු කරන ලද අපරාධ සහ 2019 පාස්කු ඉරුදින අතිශය බිහිසුණු බෝම්බ ප්‍රහාරයේ දී සිදු වූ අනර්ථකාරී ජන සංහාරය ආදිය පිළිබඳව සිදු කරනු ලබන නිවැරදි විමර්ශන වලින් අනතුරුව පුරවැසියන් හට යුක්තිය ඉටුවනු දැකීම තම අභිලාෂය බව ඡන්දදායකයා ප්‍රදර්ශනය කළ යුතුය. සියලු අපරාධකරුවන් සොයා, ඔවුන් පිළිබඳව රටේ නීතියට අනුව කටයුතු කළ යුතු අතර, සියලු අපරාධකරුවන් සොයා, ඔවුන් පිළිබඳව රටේ නීතියට අනුව කටයුතු කළ යුතු අතර, ඝාතනයට ලක්වූ 274 දෙනාට සහ බරපතළ ලෙස රෝගාතුර වූ 500කට ආසන්න වින්දිතයින් හට යුක්තිය සෙවීමේ ක්‍රියාවලියට අයුතු ලෙස මැදිහත්වීමට කිසිවකුට ඉඩ නොතැබිය යුතුය.


රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියේදී මානව,ස්වභාවික සහ භෞතික සම්පත් නාස්තිය සහ වැරැදි කළමනාකරණය වැළැක්වීම පිළිබඳව කරන කියන දේ පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත් අපි ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිමු. මන්ද, මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්, අවංකව සහ සාධාරණව රට පාලනය කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.

දිවයිනේ ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුව ජනතාවගේ සංස්කෘතික ආචාරධර්මවලට ද ගරු කරමින් රට පාලනය කරන නායකයකු තෝරාපත්කර ගැනීම සඳහා තම ඡන්දය පාවිච්චි කරන ලෙස ලියාපදිංචි වී සිටින සියලු ඡන්දදායකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.


‘‘සේවය ලැබීමට නොව, සේවය කිරීමට '' (මාර්ක් 10-45) යන යන ජේසුස් වහන්සේගේ පාරිශුද්ධ සිද්ධාන්තයෙන් ආනුභාවය ලබාගන්නා ලෙස, ආගමික නායකයන් ලෙස අපි ජනාධිපති ධුරයට තරග කරන අපේකෂකයන්ට ඇරයුම් කරමු. එය, බලය සේවයක් ලෙස ක්‍රියාත්මක කිරීමට කෙරෙන ආරාධනයයි. අපගේ ආදරණීය මාතෘ මාතෘ භූමියට දෙවියන් වන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අපි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.දේශය සහ එහි යහපත වෙනුවෙන් ද, ශ්‍රී ශ්‍රී ලංකාවේ මීළඟ නායකයා ඥානාන්විතව තෝරා ගැනීමට අපගේ සියලු පුරවැසියන් හට අවශ්‍ය ප්‍රඥාව ලැබෙනු සඳහා ද භක්තියෙන් යාච්ඤා කරන ලෙස අපගේ දයාබර සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.