chilaw-drunk-students

 හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රසිද්ධ පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු කසිප්පු පානය කර පාසල ඉදිරිපිට අතුරු මාර්ගයක පාසල් නිල ඇඳුමින්ම සිහිසුන්ව වැටී සිටියදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.



පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම් දීමක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සිහිසුන්ව වැටී සිටි සිසුන් දෙදෙනා මුලින්ම එම ප්‍රදේශයේ පිහිටි රජයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

එම රෝහලේදී කරන ලද ප්‍රතිකාර වලින් පසුව එක් සිසුවකුට තරමක සිහිය ලැබී ඇති අතර එම සිසුවා රෝහලේ වෛද්‍යවරුන් සමග පවසා ඇත්තේ මිතුරා පාසලට රැගෙන ආ වතුර බෝතලයේ තිබූ යමක් පානය කිරීමට ලබා දුන් බවත් එය පානය කිරීමෙන් පසු වමනය ගොස් ක්ලාන්තය දැමූ බවත් යැයි එම රෝහලේ වගකිව යුතු නිලධාරියෙක් පැවසීය.



වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම සිසුන් දෙදෙනා පසුව හලාවත රෝහලට ඇතුළත් කර ඇත.

පාසැල නිමවීමෙන් පසු විද්‍යාලයේදීම පැවැත්වෙන පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ පාසල ඉදිරිපිටින් ඇති අතුරු මාර්ගයට ගොස් එක් සිසුවෙකු විසින් පාසලට වතුර බෝතලයක දමාගෙන ආ කසිප්පු අතුරු මාර්ගයට ගොස් පානය කර ඇති බව පැවසේ.
කසිප්පු පානය කිරීමෙන් පසු සිහිසුන් වූ එක් සිසුවකුගේ මවක වෙනත් පාසලක ගුරුවරියක බව ද කියති.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ගේ සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති, නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත අදාළ පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය