dematagoda-rail-man-death

දෙමටගොඩ දුම්රිය අංගනයෙන් අතුරුදන්ව සිටි දුම්රිය තාක්ෂණ ශිල්පියාගේ මළසිරුර ඊයේ (06 වැනිදා) පස්වරුවේ අනාරක්ෂිත ළිඳක තිබී සොයා ගත් බව දෙමටගොඩ පොලිසිය පැවසීය.

එම අංගනයේ සේවය කරමින් සිටි මෙම සේවකයා ඊයේ (06 වැනිදා) අලුයම 1.30 සිට අතුරුදන්ව ඇති බවට එහි සේවකයින් පිරිසක් පැමිණිලි කළ බවත්, ඒ අනුව විමර්ශන සිදුකරමින් සිටියදී මෙම සේවකයාගේ සිරුර හමු වූ බවත් හෙතෙම කීය.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර, වැලිගම පදිංචිව සිටි සුජීව කුමාර නමැති 47 හැවිරිදි විවාහකයෙකි. රාජකාරි කටයුතු කරමින් සිට ඇති මෙම සේවකයාගේ අතුරුදන්වීමත් සමග සහෝදර සේවකයින් ඔහු ගැන දුම්රිය අංගන පරිශ්‍රයේ සොයන්නට පටන්ගෙන තිබේ.

ඒ අනුව ඔහුගේ බවට සැක කෙරෙන මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් සහ පාවහන් යුගලක් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී හමුවී තිබිණි.

ඒ අනුව ඔවුන් මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය දැනුවත් කළ අතර, පොලිසිය නාවික පොලිස් කොට්ඨාස කිමිදුම්කරුවන්ගේ සහායෙන් ඊයේ අලුයම එම ළිඳ පරීක්ෂා කිරීම් කළත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත.

එවැනි පසුබිමක දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ කාර්මික ශිල්පියකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සහ පොලීසිය විමර්ශන නිසි අන්දමින් සිදුනොකළ බව පවසමින් ඊයේ (06 වැනිදා) දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් රැකියා කටයුතු සඳහා පැමිණි පිරිස් හා පාසල් සිසුන් දැඩි අපහසුතාවට පත්වූ අතර, ඔවුහු වර්ජකයින්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කරන්නට වූහ.



පැය 7 කට අධික කාලයක් වැඩ වර්ජනය පැවැති අතර, දුම්රිය සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.

මෙම සිද්ධිය ගැන අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා මෙසේ කීය.

“මේ සේවකයා රාජකාරි කටයුතු කරමින් ඉන්න අවස්ථාවකයි අතුරුදන් වෙලා තිබුණේ. මේ පුද්ගලයාට මොකද වුණේ කියලා හරියට දන්නෙ නැහැ. මේ සිද්ධිය ගැන දුම්රිය බලධාරීන්ට, දෙමටගොඩ පොලිසියට කිව්වාම කව්රුවත් ඒ තරම් ගණන් ගත්තෙ නැහැ. මේ නිසයි වැඩ වර්ජනයකට කට්ටිය ගියේ. පස්සේ දුම්රිය බලධාරීන්, පොලිසිය අපි සියලුදෙනාවම සාකච්ඡාවකට කැඳෙව්වා. එහිදී ඒ අය පොරොන්දු වුණා සාධාරණ විමර්ශනයක් කරනවා කියලා. කොහොම හරි දැන් මියගිය අපේ සහෝදර සේවකයාගේ මළ සිරුර දුම්රිය ධාවනාගාරයේ ළිඳක උඩට ඇවිත් තියෙද්දි හමුවෙලා තියෙනවා. මෙයා තාක්ෂණ ශිල්පියෙක්. මෙයා ළිඳට වැටුණද? මොකක් වුණාද කියල දන්නෙ නැහැ. මේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්න.මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළාට පස්සෙ දැනගන්න පුළුවන්.”

මේ පිළිබඳව දෙමටගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.