dhammika-story

ධම්මික පෙරේරා මෙරට සිටින ප්‍රමුඛතම ව්‍යවසායකයෙකි.2019 වසරේ ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනාවෙන් ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට ආවේය. එසේ පැමිණි ධම්මික ඇමැතිවරයකු වශයෙන් කැබිනට් මණ්ඩලයට ද ගියේය.


රනිල් වික්‍රමසිංහ අගමැති හා මුදල් ඇමති වශයෙන් පත් වූ විට ධම්මික පෙරේරා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ධුරයෙන් ඉවත් විය යුතු බවය. ඒ අනුව පෙනෙන්නේ ජනාධිපති රනිල් සහ ධම්මික පෙරේරා අතර සීතල යුද්ධයක් තිබෙන බවය. මෙම පසුබිම නිසාම ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු දමන්නේ නම් ඒ ධම්මික පෙරේරා විය යුතු බව බැසිල්ගේ නිගමනය විය. අනෙක් රාජපක්ෂවරුන්ගෙන් එයට විරෝධයක් ද නොවීය.


“මට අපේක්ෂකත්වය දුන්නොත් මම බාර ගන්නවා. හැබැයි කොන්දේසි පිට" ධම්මික කෙළින්ම කිවේය.




‘පොහොට්ටුව මට ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 49ක් සොයා දිය යුතුයි. ජයග්‍රහණයට අවශ්‍ය ඉතිරි ප්‍රතිශතය මම හොයාගන්නම්” ධම්මික කීවේය.


පොහොට්ටුවේ විධායක සභාව රැස්වී ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළේය. එය ජනමාධ්‍යයේ ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. අපේක්ෂකයා කවුදැයි නම් කළේ නැත.එදාම අපේක්ෂකයාගේ නමත් එළියට දැම්මා නම් එක ප්‍රවෘත්තියයි යන්නේ. පළමුවෙන් පක්ෂය ගත් තීරණය එළියට දානවා. ඊට පස්සේ අපේක්ෂකයාගේ නම කියනවා. එතකොට අපට ප්‍රවෘත්ති දෙකයි" පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මාධ්‍යවේදියකුට කීවේය.

පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයෙන් පොහොට්ටුවට වී ඇති "විනම්එසිය දැන් පැහැදිලිය. පොහොට්ටුවේ බර අවි එම තීරණයට එදිරිව යමින් රනිල්ගේ පැත්ත ගෙන ඇත. මෙම පරිසරය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මැළිකමක් ධම්මික පෙරේරාට ඇති වන්නට ඇත. ‘‘මගේ නම යෝජනා කළාට බොහොම ස්තූතියි. එහෙත් පෞද්ගලික හේතුවක් මත මට එයට ඉදිරිපත් විය නොහැකිය” යනුවෙන් ලිපියක් පක්ෂයේ ලේකම් සාගරට යොමු කළ ධම්මික පෙරේරා ජනපති සටනින් ඉවත් විය.


‘කමක් නෑ. එහෙනම් අපි නාමල් දාමු.'කාව දැම්මත් බර අදින්නේ නාමල්නේ." ඒ බැසිල් රාජපක්ෂ කී කතාවය.

ඔටුන්න හිමි කුමරා වන නාමල් රාජපක්ෂට අහම්බයෙන් වුවද පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය හිමිවූයේ එසේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වූ විට විරුද්ධ පක්ෂ ඔහු හැඳින්වූයේ ‘රනිල් රාජපක්ෂ' යනුවෙනි. එයට හේතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වූයේ පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී පොහොට්ටුවේ බහුතර ඡන්ද ඔහුට හිමි වූ හෙයිනි. ‘රනිල්ව ගෙනාවේ රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්' විරුද්ධ පක්ෂ කීය.


‘මම මේ යන්නේ වැල් පාලමේ ගමනක්' ජනාධිපති ධුරයට පත්වූ සැණින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කීවේය.

‘රනිල් වැල්පාලමේ යන්නේ නාමල් දරුවා බේරාගන්නයි' විරුද්ධ පක්ෂ එවිට කීය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ - මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් ආණ්ඩුව දිගටම වැඩ කරගෙන ගියේය. ජනාධිපතිවරණ උණුසුමත් සමග බැසිල් රාජපක්ෂ තිරයෙන් එළියට ආවේය. ඒ බැසිල්ට ප්‍රශ්නයක් තිබූ හෙයිනි. බැසිල්ට තිබූ ප්‍රශ්නය වූයේ මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වීමය. ඔහුට වුවමනා වූයේ මහ මැතිවරණය මුලින්ම ගැනීමය.


‘ජනාධිපතිවරණය මුලින් තිබ්බම දිනන ජනාධිපතිවරයා ඉන්න පක්ෂයට මහ මැතිවරණයේදී විශාල බලයක් ලැබෙනවා. අපට වුණත් තුනෙන් දෙකක බලයක් ලැබුණා. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නෑ.' බැසිල් කීවේ එහෙම කතාවකි.



කෙසේ වෙතත් බැසිල්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ වී ගොස් තිබේ. ජනාධිපතිවරණය කැඳවා තිබෙන අතර, පොහොට්ටුවේ බල කණු පදාස පිටින් ගැලවී ගොස් ඇත.

2010 - 2015 මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී තාත්තලා මහින්ද සමග දේශපාලනය කළ අතර පුතාලා දේශපාලනය කළේ නාමල් රාජපක්ෂ සමගය. සෙහාන් සේමසිංහ, කනක හේරත්, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඩී.වී. චානක එහි පෙරමුණේම සිටියහ. එම පුතුන්ගේ පියවරු මහින්ද රාජපක්ෂ සමග දේශපාලනය කළ අතර, මහින්දගෙන් පසුව බලයට එන නාමල් රාජපක්ෂ සමග දේශපාලනය කිරීම පුතුන්ගේ ඉලක්කය වී ඇත. මෙයින් දැනට නාමල්ට ඉතිරිව සිටින්නේ ඩී.වී. චානක පමණි. අනික් සියල්ලෝම නාමල් අතහැර රනිල් ළඟ සිටගත්හ. දේශපාලන තත්වය එසේ වෙනස් වෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවතුණි.

නාමල් මන්ත්‍රීතුමා ඔයත් මේ සාකච්ඡාවට එන්න.' ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාමල් රාජපක්ෂට ආරාධනා කළේය.

‘ආරාධනා කළාට බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි. මම කලින් දාගත්ත වැඩ ටිකක් තියෙනවා. තාත්තා ආවම ඇතිනේ'. නාමල් කීවේය. ඒ අනුව කොළඹ ප්‍රධාන ව්‍යාපාරිකයකුගේ නිවෙසේ පැවැති මෙම සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ පැමිණියේ හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සමගය. ජනාධිපති රනිල්ගේ පාර්ශ්වයෙන් වෙනත් කිසිවකු සහභාගි නොවීය.

‘මහින්ද ජනාධිපතිතුමනි, කොහොමද සුවදුක්' ජනාධිපති රනිල් කතාබහ ආරම්භ කළේ එසේය.

‘දැන් ඉතින් ඡන්දෙ කාලෙනේ. ඒක හින්දා වැඩ වැඩියි.' මහින්ද රාජපක්ෂ සුපුරුදු සිනාවෙන් පිළිතුරු දුන්නේය.

‘මම ඔබතුමාව විශේෂයෙන් හමුවුණේ දැන් මම ඉදිරිපත් වෙලා ඉන්නවා. මට ආණ්ඩුව කරගෙන යන්න උදව් කළා වගේ මේ අවස්ථාවේදිත් මට උදව් කරන්න. පොහොට්ටුවේ සහයෝගය ලැබුණොත් ඒක සෑහෙන්න වටිනවා.' ජනාධිපතිවරයා කීවේය. පක්ෂය තීරණයක් අරගෙන තියෙනවා, ඒ තීරණයට මම බලපෑම් කරන්න යන්නේ නෑ. පක්ෂය තීරණය කළොත් අපේක්ෂකයෙක් දාන්නේ නෑ කියලා. එතකොට අපට ඔබතුමාට උදව් කරන්න බාධාවක් නෑ.' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට ඉතාම හිතවත් පිරිසක් සමග නිල නිවෙසේ කතාබස් කරමින් සිටියේය. ‘ජනාධිපතිතුමනි, දැන් කවුද පොහොට්ටුවේ අපේක්ෂකයා? නාමල් මන්ත්‍රීතුමාද? ධම්මික පෙරේරාද? එතැන සිටි අයෙක් ඇසුවේය. ‘නාමල්ට තව කල් තියෙනවා. මම හිතන්නේ ධම්මික පෙරේරා තමයි දාන්නේ.'




‘ධම්මික පෙරේරා දාන්න තියෙන විශේෂ හේතුවක් තියෙනවාද?' යළිත් ප්‍රශ්නයකි. ‘නෑ ඉතින්...එයා සල්ලි වියදම් කරලා කැම්පේන් එක කරනවනේ. එතකොට අපිටත් ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන්නේ ඡන්ද ටික හදලා දෙන්න විතරයි.' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු සැහැල්ලුවෙන් කීවේය.


පොහොට්ටුවෙන් අපේක්ෂකයකු දැමිය යුතුය යන මතයේ සිටියේ තිදෙනකු පමණක් බව යැයි වාර්තා වේ. ඒ බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ හා පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ය.
බැසිල්ට දැන් තිබෙන්නේ රනිල් සමග වෙනම ප්‍රශ්නයකි. ඒ ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය නොපැවැත්වීමය. නාමල්ට තිබෙන්නේ තම පියාගේ ඡායාරූපය පෙන්වමින් පාර්ලිමේන්තු ගිය පිරිස පොහොට්ටුවට පිටුපා ජනාධිපති රනිල්ට සහයෝගය දැක්වීමය.


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මේ දවස් වල සිටින්නේ බලවත් විස්සෝපයෙනි. ඒ සජිත්ගේ සක්වළ ක්‍රියාන්විතය මැතිවරණ කොමිසම විසින් නතර කිරීමට පියවර ගැනීමත් සමඟය.


‘මම මේ සක්වළ ක්‍රියාන්විතය පටන් ගත්තේ 2021 දෙසැම්බර් මාසේ 30 වැනිදා මොණරාගාල, බෝධාගම විදුහලෙන්. එහෙම නැතිව මේක මේ ඡන්දයක් බලාගෙන කරපු එකක් නොවෙයි. මං ළඟ එහෙම කැත වැඩ නෑ'. සජිත් එහෙම ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ නායකයන් සමග කළ සාකච්ඡාවකදීය.

‘කොහොමත් මම මේ ජනාධිපතිවරණයෙන් දිනනවා. මේ වෙන කොට මම පාසල් 385 ක සක්වළ වැඩසටහන තුළින් සුහුරු පන්ති කාමර ලබාදීල තියෙනවා. පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් බස්රථ 89 ක් ප්‍රදානය කරලා තියෙනවා. මම මේවා කළේ රාජ්‍ය බලය නැතිව. ඒ අනුව සැප්තැම්බර් 22 කින් පස්සේ අලුත් ජවයකින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා.' සජිත් වැඩිදුරටත් කීවේය.

‘කොහොමත් ආණ්ඩුව මේ වැඩසටහන දිහා බලාගෙන හිටියේ

වෛරයෙන්. ආණ්ඩු බලය නැතිව ආණ්ඩුවේ සල්ලි නැතිව මේවා කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න කළා. ඔබතුමාගේ මේ මෙහෙවර ජනතාව ඉහළින්ම අගය කරලා ඉවරයි. ඒකනේ අපේම හිටපු සමහර රොඩු කෑලි දාගෙන මේ වැඩසටහනට ගැහුවේ.' කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කීවේය. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහගේ උපන්දිනය යෙදී තිබුණේ ඉකුත් 5 වැනිදාටය. ඒ නිමිත්තෙන් බත්තරමුල්ල ‘වෝටර්ස් ඒජ්' හෝටලයේදී උපන්දින සාදයක් සූදානම් කර තිබුණි.


කෑම්බීම් රසමසවුළුවලින් අඩුවක් නොතිබූ මේ සාදය   දේශපාලන කතාන්දරවලින් ද කිසිදු අඩුවක්  නොවීය.


ඇමති ප්‍රසන්න කේක් ගෙඩියක් ගෙන ආ අතර මන්ත්‍රීවරුන් හැපි බර්ල්ඩ් යනුවෙන් සුබ පැතීමේ ගීතය ගයද්දී රාජිකා මන්ත්‍රීවරිය කේක් ගෙඩිය කැපුවාය.

‘කෝ....කනක මෙහාට එන්න...' කියමින් ඇමති ප්‍රසන්න කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම මන්ත්‍රීවරුන්ට ළඟට කැඳවා රාජිකා මන්ත්‍රීවරිය ලවා කේක් කැව්වාය.


පොහොට්ටු ලේකම්ගේ ලියුම

පක්ෂයේ තීරණයට පිටින් ගිය සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ලිපි නිකුත් කර තිබේ.


‘මහලේකම්තුමා අපිට විරුද්ධව නීතිමය පියවර ගන්නව කියල ලිපි එවලා. ඒවට මොකද වෙන්නෙ ' මැති ඇමැතිවරු මෙහිදී විමසූහ. ‘ඔය ලිපිවල කිසිම වලංගු බවක් නෑ. නඩු දැම්මත් මන්ත්‍රීධුර අහෝසි කරන්න ලොකු කාලයක් යනවා. ඒක නිසා බයවෙන්න එපා' කීවේ නීතිය ගැන හසළ දැනුමක් ඇති විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිය.


රාජ්‍ය ඇමති ඉන්දිකගේ රැස්වීම මාධ්‍යයට අරහං

ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු නායකත්වය සඳහා අභිනවයෙන් පත්වූ රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ දිවුලපිටියේ රැස්වීමක් සංවිධානය කළේය.ඒ නාමල් රාජපක්ෂ ප්‍රධානත්වයෙනි.

මෙම රැස්වීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගෙන එන බවට රාජ්‍ය ඇමති ඉන්දික නාමල්ට පොරොන්දු වුණත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එම රැස්වීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බව පවසමින් සහභාගි වූයේ වෙනත් පිරිසක් බවට කතාවකි. එහෙත් මේ සඳහා නගර සභා සභාපතිවරුන් 6 දෙනෙක් සහභාගි වූහ. ඉන් එක් අයකු වූයේ මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපති නීල් ජයසේකරය.


-පන්දමා (Lankadeepa)