dinesh-ranil

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව සිටින සියලුම පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන හිටපු මන්ත්‍රිවරුන්ට ඉදිරි මැතිවරණයකදී අපේක්ෂකත්වය ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙරේදා (18දා) පැවැසීය.

ජනාධිපතිවරයා සමඟ එකට අත්වැල් බැඳගෙන සිටින එම මන්ත්‍රිවරුන් ඉදිරි මැතිවරණයකදී අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වේ යැයි බියට පත්විය යුතු නැතැයිද අගමැතිවරයා සඳහන් කළේය.



ජනාධිපතිවරයාට සහාය පළකරන හිටපු මන්ත්‍රිවරුන්ට කිසිදු තර්ජනයක් ඇති වීමට තමන් ඇතුළු කණ්ඩායම ඉඩ නොතබන බවද හෙතෙම ප්‍රකාශ කළේය. මහනුවරදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කීය.

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු හා දේශපාලන පක්ෂ ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

එම දේශපාලන බලවේගය ගොඩනැඟීම සඳහා අගමැතිවරයා ලෙස තම ආශීර්වාදය හා සහයෝගය නිරන්තරව ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.



රජය ඉදිරියට ගෙන යෑමට සහයෝගය ලබාදුන් පොහොට්ටුවේ මන්ත්‍රිවරු අතිමහත් බහුතරයක් රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩ ගත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයේදී සහයෝගය ලබා දීමට තීරණය කළ බවත්, වසර දෙකක් තිස්සේ ඉතා අසීරුවෙන් ඉදිරියට පැමිණි රට මේ වන විට නිවැරැදි මාවතක ගමන් කරමින් තිබෙන බවත් ඔහු කීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි යාදාමිණි ගුණවර්ධන මහතාද සහභාගි විය.

අමිත් මධුරංග ගමගේ